ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ (SDGs) සාක්ෂාත් කරගැනීම හා සබැඳි සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ (SDGs) සාක්ෂාත් කරගැනීම හා සබැඳි සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිළිබඳ සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ අනුග්‍රහය යටතේ කැඳවන ලද ඉහළ පෙළේ දේශපාලන සංසදයේ දී (HLPF) අද දින (15) ඉදිරිපත් කළේ ය.

‘තිරසාර සංවර්ධිත ජාතියක් සැමට උදා කරළීම සඳහා වන සියල්ල ඇතුළත් පරිවර්තනය’ යන තේමාවෙන් යුක්ත මෙම වාර්තාව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සහ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය විසින් මෙම සංසදය වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව සාමාජික රටවල් සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

වර්තමානයේ දී මුහුණ දෙන ආර්ථික බාධා මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමේ දී ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. ස්වේච්ඡා ජාතික සමාලෝචන ක්‍රියාවලියේ දී අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ විස්තර මෙම වාර්තාවේ අඩංගු විය. එනම්, තිරසාර සංවර්ධන අභිමතාර්ථ ක්‍රියාත්මක කිරීමේ හිමිකාරිත්වය භාරගැනීම සඳහා ජාතික සහ කලාපීය මට්ටම් පරිණාමය වී ඇති ආකාරය පරීක්ෂා කිරීම, තිරසාර සංවර්ධන අභිමතාර්ථ ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගවලට ඒකාබද්ධ කර ඇති ආකාරය විශ්ලේෂණය කිරීම, ප්‍රධාන තේමා ක්ෂේත්‍ර 7ක් යටතේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ සපුරාගැනීමේ දී ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතිය ඉස්මතු කිරීම, 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් රැස්කිරීමේ උපාය මාර්ග ගෙනහැර දැක්වීම, සහ ඉදිරි ගමන පිළිබඳ උපාය මාර්ග ඉදිරිපත් කරන අතරතුර, තිරසාර බව සහ සියල්ල ඇතුළත් ජාතියක් ලෙස රට වඩාත් හොඳින් ගොඩනැංවිය හැකි ආකාරය යනාදී කරුණු මෙහි අන්තර්ගත විය.

රටවල් හතළිස් හතරක් මෙම වසරේ පැවති HLPF හිදී ස්වේච්ඡා ජාතික සමාලෝචන සිදු කළ අතර, එහිදී 4 වැනි තිරසාර සංවර්ධන අභිමතාර්ථය වන ගුණාත්මක අධ්‍යාපනය, 5 වැනි අභිමතාර්ථය වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, 14 වැනි අභිමතාර්ථය වන සාගර සම්පත සුරක්ෂිත කිරීම, 15 වැනි අභිමතාර්ථය වන ගොඩබිම් පරිසර පද්ධති සුරක්ෂිත කිරීම, සහ 17 වැනි අභිමතාර්ථය වන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම යනාදිය පිළිබඳ ගැඹුරු ලෙස සමාලෝචනය කරන ලදී.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තිරසාර සංවර්ධන අභිමතාර්ථ කෙරෙහි එල්ල වූ විවිධ බලපෑම් පිළිබඳව මෙන්ම, ‘තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යන අතරම, කොරෝනා වෛරසයෙන් (කොවිඩ්-19) සාර්ථක ලෙස ප්‍රකෘති තත්ත්වයට පැමිණීම’ යන තේමාව යටතේ තිරසාර සංවර්ධන අභිමතාර්ථවල ඒකාබද්ධ, නොබෙදිය හැකි සහ එකිනෙක සමඟ සම්බන්ධ වූ ස්වභාවය පිළිබඳව සහ සංසදය ක්‍රියාත්මක කිරීම යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 ජූලි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close