ශ්‍රී ලංකාව ආසියානු තාක්ෂණ ආයතනය (AIT) සමඟ ඉහළ නංවන ලද හවුල්කාරිත්වයක් සහතික කරයි  

ශ්‍රී ලංකාව ආසියානු තාක්ෂණ ආයතනය (AIT) සමඟ ඉහළ නංවන ලද හවුල්කාරිත්වයක් සහතික කරයි  

දෙමුහුන් ආකෘතියක් යටතේ 2022 වසරේ ජනවාරි මස 25වැනි දින පවත්වන ලද තායිලන්ත ආසියානු තාක්ෂණ ආයතනයේ (AIT) භාරකාර මණ්ඩල රැස්වීම අතරතුර, එහි ශිෂ්‍ය සබඳතා කමිටුවේ සමසභාපති ලෙස තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි(UNESCAP) නිත්‍ය නියෝජිතවරිය වන සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය තේරී පත්වූවා ය.

භාරකාර මණ්ඩලයේ සභාපති ආචාර්ය ටොංග්චට් හොංග්ලදරොම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා AIT හි සභාපති ආචාර්ය ඊඩ්න් වයි. වූන් මහතා, තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය මෙන්ම භාරකාර මණ්ඩලයේ උපසභාපතිවරයෙකුද වන ආචාර්ය සුවිට් කුන්කිට්ටි මහතා, එම මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිත්‍ය නියෝජ්‍ය ලේකම් චුටින්ටෝන් ගොංග්සක්ඩි මහතා,බංග්ලාදේශය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පාකිස්තානය යන රටවල තානාපතිවරුන් සහ කාම්බෝජය, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, මැලේසියාව, නේපාලය සහ වියට්නාමය යන රටවල බැංකොක් හි පිහිටිරාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩලවල නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

අධ්‍යයන වැඩසටහන් සහ ඉගැන්වීම් කටයුතු, පර්යේෂණ, ව්‍යාප්තිය, ගෝලීයජාල, නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයන්, AIT Hub ව්‍යාපෘතිය, AIT හි උපායමාර්ගික කාර්යසාධක බලකාය පුළුල් කිරීම යනාදිය ඇතුළුව 2022 වසර සඳහා වන සැලසුම් මෙම මණ්ඩලය විසින් විස්තරාත්මකව සකච්ඡා කරන ලදි.

මාර්ගගත ක්‍රමය යටතේ මෙම හමුවට සහභාගී වූ තානාපති කොළොන්නේ මැතිනිය, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් හටගත් අභියෝග හමුවේ AIT හි අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා AIT හි සභාපති ආචාර්ය ඊඩ්න් වයි. වූන් මහතා දරන දැවැන්ත උත්සාහය පිළිබඳව සිය කෘතඥතාව පළකළා ය.

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන අංශය සමඟ පැවැත්විය හැකි හවුල්කාරිත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යංශය සහ තායිලන්තයේ AIT ආයතනය සමඟ පවත්නා අවබෝධතා ගිවිසුම මෙන්ම, ධාරිතා ගොඩනැගීමේ දර්ශන විශාරද උපාධි හවුල්කාරිත්ව වැඩසටහන සම්බන්ධයෙන් තායිලන්තයේ AIT ආයතනය සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර පවත්නා අවබෝධතා ගිවිසුම නිම කිරීම සඳහා මෑතක දී ගනු ලැබූ පියවර, තානාපති කොළොන්නේ මැතිනිය විසින් අවධාරණය කරන ලදි.

ශ්‍රී ලංකාව 1977 වසරේ සිට AIT හි භාරකාර මණ්ඩලය නියෝජනය කරන අතර, AIT ආයතනය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර පවත්නා දිගුකාලීන හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාව ඔස්සේ ප්‍රතිලාභ ද ලබා ඇත.

ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සහ තානාපති කාර්යාලය

බැංකොක්

2022 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close