ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය වෙනුවෙන් මහකොමසාරිස් නවරත්න මහතා සාමය සහ සංහිඳියාව පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික කැනේඩියානු ජාතිකයින්ට සංවාදයකට ඇරයුම් කරයි

ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය වෙනුවෙන් මහකොමසාරිස් නවරත්න මහතා සාමය සහ සංහිඳියාව පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික කැනේඩියානු ජාතිකයින්ට සංවාදයකට ඇරයුම් කරයි

2022 පෙබරවාරි මස 04 වන දින කැනඩාවේ ඔටාවා හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 74 වන නිදහස් සංවත්සරය අතථ්‍ය අයුරින් සැමරීය.

ජාතික ධජය එසවීමෙන් සහ ශ්‍රී ලංකා සහ කැනඩා රාජ්‍යයන් දෙකෙහි ජාතික ගීත ගායනා කිරීමෙන් නිදහස් දින උත්සවය ආරම්භ වූ අතර ශ්‍රී ලාංකීය ජාතික විරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීම ඉන් අනතුරුව සිදු විය. මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වනු ලැබූ අතර ඉන් අනතුරුව ගෞරවනීය මහා සංඝරත්නය සහ හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික ප්‍රභූවරුන් විසින් සර්ව ආගමික වතාවත් සිදු කරන ලදී.

අතිගරු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ කතාවෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නිදහස් දින පණිවිඩ පිළිවෙළින් මහ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා, කොවිඩ් 19 අභියෝගයට මුහුණ දෙමින් එහි තර්ජනය සැලකිය යුතු ලෙස ජය ගනිමින් රට තුළ නිදහස් දින උත්සවය පැවැත්වීම සඳහා පුරෝගාමී වූ සුව විරුවන් විසින් සිදු කරන ලද සේවාවන් ඇගයීමට ලක් කළේය. ඉන් අනතුරුව, මහ කොමසාරිස් නවරත්න මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය වටිනාකම්, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ බහුපාර්ශ්වික සංසදවල සහාය මත පදනම්ව 1958 දී කැනඩා රාජ්‍යය සමඟ ඇතිකර ගත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළින් වසර 63කට අධික කාලයක් මුළුල්ලේ විහිදෙන දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාව සහ මිත්‍රත්වය අගය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ න්‍යාය පත්‍රයට අනුකූලව සාමය සහ සංහිඳියාව පිළිබඳ සංවාදයක් ආරම්භ කරන ලෙස කැනඩා ප්‍රජාවට ඇරයුම් කරමින් මහ කොමසාරිස්වරයා මෙසේ ප්‍රකාශ කළේය.

“අද මෙම ඓතිහාසික නිදහස් දිනයේදී,  එකී කරුණ සම්බන්ධයෙන් මා හමුවීමට පැමිණ සංවාදයක් පවත්වන ලෙසට මාගේ රජය වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවගේ සාමය සහ සංහිඳියාව සඳහා කැපවී සිටින සියලුම දෙනාට මම ආරාධනා කිරීමට කැමතියි. සාමය ගොඩනැංවීමේ හොඳම භාවිතයන් බොහොමයක් ආරම්භ වන්නේ සමාන අදහස් ඇති පුද්ගලයන් හමුවීමෙන් සහ ඔවුන්ගේ අදහස් බෙදාගැනීමෙන්; පවතින ගැටළු ඉදිරිපත් කිරීමෙන්;  අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමෙන්, නැවත නැවතත් හමුවීමට සහ එක්ව වැඩ කිරීමට අවස්ථාවන් සෙවීමෙන් සහ ක්‍රම ක්‍රමයෙන් විශ්වාසය ගොඩනඟා ගැනීමෙනි". “එසේ කිරීමෙන්, සහයෝගයෙන් කටයුතු කළ හැකි මෙන්ම සබඳතා ගොඩනගා ගත හැකි ක්ෂේත්‍ර අපි දිගින් දිගටම ගවේෂණය කරමු” යනුවෙන් එතුමා තවදුරටත් සඳහන් කළේය.

ප්‍රජා සහයෝගීතාව අගය කරමින් එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

“සිය පරිත්‍යාගයන්, කැපවීම් සහ ජාතික සහ ජාත්‍යන්තර සංසදවලදී කෙරෙන නියෝජනයන් සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු ජාතිකයින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා-කැනඩා ප්‍රජා සමාජ ගණනාවක් අපි හඳුනා ගෙන සිටිමු. ඔබ සාමූහිකව සාමය සහ සංහිඳියාවේ මුලපිරීම්වලට සම්බන්ධ දූත මණ්ඩල සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන බැවින්, දමිළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල ආදී වශයෙන් අදාළ ජනවර්ග නියෝජනය කරන ඔබ සියල්ලගේ ම වැදගත්කම ඉස්මතු කිරීම ද අත්‍යවශ්‍ය වේ".

කැනඩාවේ ආසියා ශාන්තිකර කලාපීය ගෝලීය කටයුතු පිළිබඳ සහකාර නියෝජ්‍ය අමාත්‍ය පෝල් තොපිල් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් මෙම අථත්‍ය සැමරුම සඳහා එක් විය. පොදුරාජ්‍ය මණ්ඩලය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රවිෂ්ට වීම කැනඩාව සාදරයෙන් පිළිගත් බැවින් 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබූ බවට පිළිගත් පළමු රටවල් කිහිපය අතර කැනඩාව ද වූ බව එතුමා සිය පණිවිඩයෙන් අවධාරණය කළේය. “අන්තහ්කරණය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම ආමන්ත්‍රණය කිරීම වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට කැනඩාව අපේක්ෂා කරයි. එවන් සහයෝගීතාවක් තුළින් අපගේ රාජ්‍යයන් දෙක අතර සබඳතා පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට අපට උත්සාහ කළ හැකිය. සියලු ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සමඟ අත්වැල් බැඳ ගනිමින් සංහිඳියාව අඛණ්ඩව පවත්වාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බව කැනඩාව තවදුරටත් අපේක්ෂා කරයි. සාමකාමී, එක්සත් සහ සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමට අපේක්ෂා කරන අතරවාරයේ අර්ථවත් සහ දිගුකාලීන සාමය සහ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සඳහා වන ප්‍රයත්නයන්ට සහාය වීමේ අරමුණින් නිර්මාණාත්මක හවුල්කරුවෙකු ලෙස සිය භූමිකාව තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරනු දැකීම කැනඩාවේ අපේක්ෂාවයි" යනුවෙන් එතුමා වැඩිදුරටත් පැවසීය.

සංචාරක, ආයෝජන සහ ලංකා තේ පිළිබඳ ශ්‍රී ලංකාවේ වීඩියෝ දර්ශන විකාශය කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන නිමා විය.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

ඔටාවා

2022 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close