ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා මස්කට් නුවර දී ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා මස්කට් නුවර දී ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි

2022 වර්ෂයේ පෙබරවාරි 04 වැනි දින සමරනු ලැබූ ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා මස්කට් නුවර බර්කා ප්‍රදේශයේ රුමයිස් හි පිහිටි කෘෂිකාර්මික හා සත්ව පර්යේෂණ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ ‘දිවුල්’ (Kaith fruit)  පැළයක් රෝපණය කළේ ය.

‘දිවුල්’ යනු ශ්‍රී ලංකාවේ වැවෙන පැඟිරි කුලයට අයත් ශාකයක් වන අතර, එහි ආහාර දිරවීම ඉහළ නංවන තන්තු ඉහළ ප්‍රමාණයක් මෙන්ම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය සවිමත් කරන ප්‍රෝටීන, යකඩ, කැල්සියම් හා විටමින් බී සහ සී අන්තර්ගත වේ.

ඕමානයේ රටඉඳි සහ ශාක නිෂ්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය සයිෆ් බින් අලි අල්-ඛමිසි මහතා, ඕමාන සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍යංශයේ බටහිර ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෂෙයික් මොහොමඩ් බින් අහමඩ් අල් ෂන්ෆාරි මහතා සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශයේ නිලධාරීන් හමුවේ, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සිය භාර්යාව සමඟ මෙම ශ්‍රී ලාංකික පලතුරු පැළය රෝපණය කළේ ය. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවා ය.

මෙහිදී අදහස් දැක්වූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, ශ්‍රී ලංකාව සහ ඕමානය අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් ශක්‍යතාවක් පවතින බව සඳහන් කළ අතර, දෙරට අතර පවත්නා මෙම සහයෝගීතාව අනාගතයේ දී තවදුරටත් ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දින සංවත්සරය නිමිත්තෙන් ඕමානයේ කෘෂිකර්ම හා සත්ත්ව පර්යේෂණ අධ්‍යක්ෂක ජනරාල් කාර්යාල පරිශ්‍රයේ දී ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කිරීම සඳහා විශේෂ විධිවිධාන සලසා දුන් විදේශ අමාත්‍යංශයට සහ ඕමාන සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය වෙත තානාපතිවරයා සිය අවංක ස්තුතිය පළ කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 පෙබරවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close