ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් සමාගම් අතර අතථ්‍ය අයුරින් පවත්වන ලද ව්‍යාපාරාන්තර (B2B) හමුව

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් සමාගම් අතර අතථ්‍ය අයුරින් පවත්වන ලද ව්‍යාපාරාන්තර (B2B) හමුව

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව 2021 දෙසැම්බර් 21 වැනි දින සංවිධානය කරන ලද අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරාන්තර සැසියක් සඳහා ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් සමාගම් විස්සක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

මෙම සැසිය සඳහා සහභාගී වූ සමාගම් ගොඩනැගිලි ඉදිකිරීම, මාර්ග සංවර්ධනය, පාලම් ඉදිකිරීම, වාරිමාර්ග ඉදිකිරීම සහ ජල විදුලිය සහ සූර්ය බලශක්තිය ආශ්‍රිත පුනර්ජනනීය බලශක්ති ඇතුළත් ව්‍යාපෘති යනාදී අංශ නියෝජනය කළහ. ඒ අනුව මාස්ටර් හෙලීස් ඉන්ජියනියරින් කන්සල්ටන්ට්ස්, ඩැරින්ග්ටන් කන්ස්ට්‍රක්ෂන් සමාගම, සැන්මල් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම, වෙනෝරා ලංකා පවර් පැනල්ස් පුද්ගලික සමාගම, ඒ.පී.එස්. ලංකා පුද්ගලික සමාගම, සන්කෙන් ඕවර්සීස් පුද්ගලික සමාගම, සියෙරා කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ්, ලෑන්ඩ්මාර්ක් ප්‍රොපටීස් පුද්ගලික සමාගම, සෙන්ට් තෙරේසා ඉන්ඩස්ට්‍රීස්, ඉකෝ පවර් සමූහය සහ ලාෆ්ස් පවර් යනාදී සමාගම් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසියට සහභාගී වූහ. අමර් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම, ගෝර්කා කන්ස්ට්‍රක්ෂන්, ජම්බුදීප් කන්ස්ට්‍රක්ෂන්, තුන්දි කන්ස්ට්‍රක්ෂන්, රබීනා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම, බයිභාබ් පවර් නේපෝල් පුද්ගලික සමාගම, බී.බී.ඩී. කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස් පුද්ගලික සමාගම, හිමාලයන් ඉන්ජිනියරින් ඇසෝසියේට්ස් පුද්ගලික සමාගම සහ නිව් ටෙක්නිකල් ඉන්ෆ්‍රා පුද්ගලික සමාගම යනාදී සමාගම් නේපාලය නියෝජනය කරමින් මෙම සැසිය සඳහා සහභාගී වූහ.

කුඩා ජල විදුලිය, හයිඩ්‍රොලික් ඉංජිනේරු සේවා, මාර්ග සහ අධිවේගී මාර්ග, හරිත තාක්ෂණය, පාංශු හා භූ තාක්‍ෂණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් ගෝලීය වෙළෙඳපොළට පිවිස ඇති බව  ආරම්භක දේශනය සිදු කළ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අපනයන සේවා අධ්‍යක්ෂිකා ඉඳුමිණී කොඩිකාර මහත්මිය සඳහන් කළාය. පුළුල් පරාසයකින් යුක්ත මෙම ප්‍රවීණත්වයේ අංශ තුළින් හවුල් සහයෝගීතාවන් හි නිරත වීම සඳහා දෙරටෙහි කර්මාන්ත සඳහා මහඟු අවස්ථා සපයනු ලැබේ.

 මෙම ව්‍යාපාරාන්තර සැසිය පැය දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ පැවති අතර එහිදී පාර්ශ්වකරුවන් හත් දෙනෙකු බැගින් ඇතුළත් අතථ්‍ය රැස්වීම් කාමර තුළදී සාකච්ඡාවල නිරත වීම සඳහා  ඉහත සමාගම්වලට ඉඩ සලසන ලදි. මෙලෙස හමුවීමට නව හවුල්කාරිත්වයන් ගොඩනැගීමට සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට ලබා දුන් අවස්ථාව පිළිබඳව සහභාගී වූ සමාගම් සිය ගැඹුරු කෘතඥතාව පළ කළහ. නුදුරු අනාගතයේ දී වඩාත් ඵලදායී කර්තව්‍යයන් සඳහා නේපාලයේ ව්‍යාපාරික හවුල්කරුවන් සහ රජයේ පාර්ශ්වකරුවන් හමුවීම සඳහා නේපාලය තුළ සංචාරය කිරීමට ඇතැම් ශ්‍රී ලාංකික සමාගම් දැඩි උනන්දුවක් දැක්වූහ.

සහභාගී වූ පිරිසට සිය කෘතඥතාව පළ කරමින් සමාප්ති දේශනය පැවැත්වූ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි හිමාලී අරුණතිලක මැතිණිය   ඉදිකිරීම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව සහ නේපාලය යන දෙරටේම සංවර්ධනය සඳහා ඉවහල් වන ප්‍රධාන අංශයක් බව අවධාරණය කළාය. මෙම ව්‍යාපාරාන්තර සැසියේ පරමාර්ථය වූයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල සහයෝගිතා සහ හවුල්කාරිත්වයන් සක්‍රීය කිරීම පමණක් නොව ඉදිකිරීම් ද්‍රව්‍ය ආශ්‍රිත වෙළඳාම දිරිමත් කිරීම මෙන්ම විශේෂඥ දැනුම බෙදාගැනීම බව ද එතුමිය අවධාරණය කළාය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව තානාපති කාර්යාලය ලබා දෙන පූර්ණ සහයෝගය සහ පහසුකම් පිළිබඳව තහවුරු කළ තානාපතිනිය අනාගතයේදී ද මෙවැනි කර්තව්‍යයන්වල අඛණ්ඩව නිරත වන ලෙස සහභාගිවන්නන් දිරිමත් කළාය.

මෙම ව්‍යාපාරාන්තර සැසිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ කර්මාන්ත සමාගම් එක්ව සම්බන්ධීකරණය කරන ලද “ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඉදිකිරීම් කර්මාන්තයේ සහයෝගීතාව” යන තේමාව යටතේ පවත්වන ලද සාර්ථක වෙබිනාර් සාකච්ඡාවේ පසු විපරමකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2021 දෙසැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close