ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ MICE සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා වෙබිනාර් සාකච්ඡාවක් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ MICE සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා වෙබිනාර් සාකච්ඡාවක් පැවැත්වේ

ඉන්දියාවේ බටහිර කලාපය තුළ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට දරන  උත්සාහය අඛණ්ඩව සිදු කරමින්, මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශය (SLCB) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MICE (රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ උත්සව) සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මාර්ගගත වැඩසටහනක් 2021 ඔක්තෝබර් මස 06 වැනි දින සංවිධානය කළේ ය.

MICE සංචාරක ව්‍යාපාරය සඳහා මුම්බායි නගරයෙන් ලැබෙන පිටුවහලත්, පශ්චාත් කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ සමාගම් ආයතනවල අවශ්‍යතාත් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව වාසිදායක MICE සංචාරක ගමනාන්තයක් ලෙස විදහා දැක්වීමට මෙම සැසිය සංවිධානය කෙරිණි.

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා විසින් මෙම උත්සවයේ සමාරම්භක දේශනය ඉදිරිපත් කෙරිණි. දැඩි අගුලු දැමීම සහ පුළුල් එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් මෙරට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැනවූ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බැවින් සියළුම සමාගම් සහ ව්‍යාපාරික කටයුතු යළි පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව කොන්සල් ජනරාල්වරයා සිය දේශනය අතරතුර දී කියා සිටියේ ය. සාම්ප්‍රදායික සංචාරක ව්‍යාපාරය හැරුණු විට, ප්‍රධාන ව්‍යාපාරික හා MICE වැඩසටහන් සඳහා සත්කාරකත්වය දැක්වීමේ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව සතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් ගත් කල, ශ්‍රී ලංකාවේ ශක්තීන් නවීන යටිතල පහසුකම් මෙන්ම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ සියලු ප්‍රමාණයේ උත්සව සංවිධානය කිරීමේ පහසුකම් වටා කේන්ද්‍ර වී ඇති අතර, මේ සඳහා මුහුදු වෙරළ තීර, සංස්කෘතිය, උරුම, වනජීවීන්, කඳුකරය වැනි විවිධ ආකර්ෂණීය ස්ථාන මෙන්ම ඕනෑම ජාත්‍යන්තර ප්‍රමිතියකට ගැළපෙන ප්‍රණීත සූපවේදය ද දායක වේ.

මෙම වෙබිනාර් සාකච්ඡාව ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම සහ ආගන්තුක සත්කාරය විදහා දැක්වෙන වීඩියෝ පට දෙකක් ඉදිරිපත් කිරීමෙනි. MICE සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවෙන් පිරිනැමෙන ප්‍රතිලාභ සහ මෙම අංශය යටතේ ශ්‍රී ලංකාව සතු හැකියා පිළිබඳව ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි. MICE සංචාරක ක්‍රියාකරුවන්ට සහ මෙම වෙබිනාර් සාකච්ඡාවට සම්බන්ධ වූ නියෝජිතයන්ට සිය මීළඟ ආයතනික උත්සවය ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීම සඳහා ඔහු ආරාධනා කළේ ය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ සුවිශේෂී ආයෝජකයන් නියෝජනය කළ ප්‍රධාන දේශකයන් ද මෙම වෙබිනාර් සාකච්ඡාවේ දී සිය අදහස් ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ කර්මාන්ත හවුල්කරුවන් නියෝජනය කරමින්, ශ්‍රී ලංකා වෘත්තීය සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන හා උත්සව සංවිධායකයන්ගේ සංගමයේ සභාපති ඉම්රාන් හසන් මහතා  සහ ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා, ශ්‍රී ලංකාවේ MICE සේවා සපයන්නන් සහ නවාතැන් පහසුකම් සැලසීමේ අංශය ඕනෑම ආකාරයක MICE කටයුත්තක් සඳහා පහසුකම් සැපයීමට සූදානම්ව සිටින්නේ කෙසේදැයි යන්න පැහැදිලි කළහ. ආයතනික උත්සව සඳහා සත්කාරකත්වය ලබා දීම හැරුණු විට, මංගල උත්සව සඳහා, විශේෂයෙන්ම, සුපිරි ගණයේ ඉන්දියානු මංගල උත්සව අවම පිරිවැයකින් පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව තුළ පවතින හැකියාව ද ඉස්මතු කෙරිණි.

ඉන්දියාවේ සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ උප සභාපති ජේ. භාටියා මහතා සහ ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනයේ විධායක සාමාජික සම්පත් දමානි මහතා, ඉන්දියානු ආයෝජකයන් නියෝජනය කරමින් මෙම වෙබිනාර් සාකච්ඡාව ඇමතූහ. ඉන්දියානු සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කිරීම සහ ප්‍රවේශ වීමේ අවශ්‍යතා තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ ඔවුහු සිය සේවාදායකයන් අතර ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට එකඟ වූහ.

ඉහත සඳහන් නියෝජනයන් හැරුණු විට, 2022 වර්ෂය සදහා ඉන්දියාව වෙනුවෙන් පෙල ගස්වා තිබූ ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ ප්‍රවර්ධන වැඩසටහන් සහ ශ්‍රී ලංකාවේ සංචාරක මාර්ගෝපදේශ පිළිබඳ මෑත කාලීන යාවත්කාලීන කිරීම් පිළිබඳව ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ නිලධාරීහු රැස්ව සිටි පිරිස දැනුවත් කළහ. ඉන්දියාවේ ප්‍රධාන නගරවල පිහිටි ශාඛා කාර්යාල 11 ක සහයෝගය ඇතිව ඉන්දියාවේ සිට ඕනෑම ආකාරයක MICE ක්‍රියාකාරකමක් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකි බව වෙබිනාර් සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියෝජිතයා පැවසී ය.

MICE සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන් සහ මාධ්‍යවේදීන් 50 දෙනෙකුට අධික පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. ප්‍රශ්නෝත්තර සැසියකින් මෙම වෙබිනාර් සාකච්ඡාව සමාප්ත කෙරුණු අතර, එය දූත කාර්යාලයේ කොන්සල් (වාණිජ) සඳුන් සමීර මහතා විසින් සම්බන්ධීකරණය කොට මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2021 ඔක්තෝම්බර් 12වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close