ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉහළ අවස්ථා ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සෝල් නුවර දී ඉල්ලා සිටියි

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා කොරියානු ජනරජයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් විමසී ය.

 වර්තමානය වන විට දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 22,000ක් පමණ සිටින බවත්, ඔවුන් වසරකට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 520ක් පමණ මෙරටට එවන බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. දකුණු කොරියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි ප්‍රවේශ වීම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ නමුදු, ප්‍රථමයෙන්ම ශ්‍රමිකයන්ට සහ ඉන් අනතුරුව අලුතින් ඇතුළත් වූවන් සඳහා අදියරෙන් අදියර කොාරියාවට ප්‍රවේශ වීම සඳහා අවසර ලබා දීම පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා කොරියානු ජනරජය වෙත සිය  ස්තුතිය පුද කළේ ය. ශ්‍රී ලංකාවෙන් සෝල් වෙත කණ්ඩායම් දෙකක් පැමිණ ඇති බවත්, ඒ අනුව පළමු කණ්ඩායම දෙසැම්බර් 8 වැනි දින සහ දෙවැනි කණ්ඩායම දෙසැම්බර් 22 වැනි දින පැමිණි බවත් එතුමා පැවසී ය. ඊ.පී.එස්. (EPS) යෝජනා ක්‍රමයට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා එතුමා පුළුල් අවස්ථා ඉල්ලා සිටි අතර, ශ්‍රමිකයන් යවනු ලබන රටවල් 16 අතරින් සතිපතා සෘජුවම සෝල් වෙත ක්‍රියාත්මක කෙරෙන එකම ජාතික ගුවන් සේවය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බව, සියලුම වාර්තා කටයුතු සඳහා පෙන්වා දුන්නේ ය.

සමස්ත කොරියානු ජනරජය තුළ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 80 දෙනෙකුට වඩා අඩු පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එමගින් ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරන ලද සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල ඵලදායීත්වය ප්‍රකාශ කෙරෙන බවත් එතුමා අවධාරණය කළේ ය. කොරියානු ජනරජය වෙත ඇතුළත් කරන ලද සෑම කණ්ඩායමකම සංඛ්‍යාව වැඩි කළ යුතු බවත්, මින් පසුව ඇතුළත් කෙරෙන කණ්ඩායම් සෝල් වෙත පැමිණීමේ වාර ගණන වැඩි කළ යුතු බවත් එතුමා ඉල්ලා සිටියේ ය.

1970 වර්ෂයේ දී කොරියානු ජනරජය වෙතින් ලද මුළු අපනයනය දළ වශයෙන් ඩොලර් මිලියන 835 ක් වූ අතර 2019 වර්ෂයේ දී, එනම් දශක පහකට අඩු කාලයක් ඇතුළත කොරියානු ජනරජය වෙතින් ලද අපනයනයවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 610 දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා අවධාරණය කළේ ය. මෙම අගය සුවිශේෂී ඉහළ යාමක් ලෙස හඳුනාගත හැකි අතර, ලොව ඕනෑම කලාපයක මේ හා සමාන අවස්ථා දැකගත හැකි රටවල් සුළු ප්‍රමාණයක් සමඟ එය සමපාත වේ.  ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නියැළෙන කර්මාන්ත, ඔවුන්ගේ කැපවීම සහ විනය මෙම ජයග්‍රහණය සඳහා යම් ප්‍රමාණයකින් දායක වී ඇති බව අමාත්‍ය  මහාචාර්ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය.

කොරියානු ජනරජයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා පවත්නා රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රමවේද පිළිබඳව දකුණු කොරියානු රජය ගැඹුරින් සොයා බලන බව කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා අතර පැවති මෙම හමුවේ දී සාකච්ඡාවට බඳුන් වූ සෙසු කරුණුවලට දේශපාලනය, වෙළඳාම, ආයෝජන අවස්ථා, සංචාරක ව්‍යාපාරය සහ ජාත්‍යන්තර වේදිකාවල දෙරටෙහි සහයෝගීතාවය යනාදී කරුණු ඇතුළත් විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 ජනවාරි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close