ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියම වෙත අපනයනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 අප්‍රේල් 21 වැනි දින “COCONUT WONDER- Truly Sri Lankan” නමින් වැඩමුළුවක් පවත්වන ලදි. මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සහභාගීත්වය අතථ්‍ය අයුරින්  සැලසීමේ කටයුතු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ලංකා වාණිජ මණ්ඩලය සහ වාණිජ හා කර්මාන්ත පදනම විසින් සම්බන්ධීකරණය කරන ලදි.

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳව ආරම්භක දේශනයක් ඉදිරිපත් කළ තානාපති ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය බෙල්ජියමේ පොල් නිෂ්පාදන ආනයනකරුවන් ශ්‍රී ලංකාවෙන් පොල්  ආනයනය කළ යුත්තේ කුමක් හෙයින්ද යන්න පිළිබඳව අදහස් දැක්වූවාය. විචී කොකනට්, ඇඩම්ජී ලක්මන්ජී ඇන්ඩ් සන්ස්, සෙනික්මා හෝල්ඩින්ග්ස්, කොකෝලංකා, ඊ- සිල්ක් රූට් වෙන්චර්ස්, සිලෝන් එක්ස්පෝර්ට්ස් ඇන්ඩ් ට්‍රේඩින්ග් (පුද්.) සමාගම, සිලෝන් කොකෝ ග්‍රීන් මැනුෆැක්චරින් (පුද්.) සමාගම, රේණුකා ෆුඩ්ස් සහ එන්රිච් ටී ඇන්ඩ් ෆුඩ් එක්ස්පෝර්ට්ස් (පුද්.) සමාගම යන සමාගම්වල නිෂ්පාදන සාම්පල සහ සමාගම් පැතිකඩ පිළිබඳ විස්තර මෙහිදී බෙල්ජියමේ ආනයනකරුවන් වෙත පිළිගන්වන ලදි.

නිර්මාංශ ආහාර, සත්ත්ව ආහාර වලින් තොර ආහාර සහ ආසියානු සූපවේදය කෙරෙහි වන පාරිභෝගික උනන්දුව ඉහළ යාම හේතුවෙන් පොල් නිෂ්පාදන භාවිතය සම්බන්ධයෙන් මෑතක දී ඉහළ අවධානයක් හිමි විය. යුරෝපය විසින් සිදු කරනු ලබන වියළි පොල් ආනයනය වර්ධනය වෙමින් පවතින අතර, බෙල්ජියම ද යුරෝපා සංගම් කලාපයේ පොල් නිෂ්පාදන ආනයනය කරන ප්‍රමුඛයන් අතර වේ.

බෙල්ජියමේ ආනයනකරුවන් ශ්‍රී ලංකාවේ කාබනික පොල් නිෂ්පාදනවල ගුණාත්මකභාවය, පොල් ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රම සහ තාක්ෂණය මෙන්ම ජීඑස්පී+ යෝජනා ක්‍රමය යටතේ යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවෙන් පොල් නිෂ්පාදන ආනයනය සඳහා ලබා දී ඇති ශුන්‍ය තීරු බදු සහන පිළිබඳව අගය කළහ.

බෙල්ජියමේ අපනයනකරුවන් ද ශ්‍රී ලංකා අපනයනකරුවන් සමඟ අතථ්‍ය අයුරින් සාකච්ඡාවක නිරත වූහ. බෙල්ජියමේ ආනයනකරුවන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සමඟ සිය අන්තර්ක්‍රියා අඛණ්ඩව පැවැත්වීම සඳහා දැඩි උනන්දුවක් දැක්වූ හෙයින්, උනන්දුවක් දක්වන පාර්ශ්ව අතර නුදුරේ දී ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කිරීමට තානාපති කාර්යාලය මෙහිදී පොරොන්දු විය.

රසකැවිලි, බේකරි සහ චොකලට් කර්මාන්තය තුළ මෙන්ම, ආපනශාලා සහ හෝටල්වල භාවිතා කළ හැකි නව්‍ය පොල් නිෂ්පාදන පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පැවැත්වූ මෙම  වැඩමුළුවේ දී ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අයුරු විදහා දැක්වෙන ආහාර පිසීමේ වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කරන ලදි. අනෙකුත් ඉහළ යුරෝපීය වෙළඳපොළවල් හා සසඳන විට කුඩා ජනගහනයක් තිබියදීත්, බෙල්ජියම විසින් යූරෝ මිලියන 11.7 ක වටිනාකමකින් යුත් වියළි පොල් ටොන් 5.8 දහසක් ආනයනය කරනු ලැබේ. තවද, බෙල්ජියම සිය වියළි පොල්වලින් 4% ක් පමණ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරයි.

මෙම වැඩමුළුවේ අරමුණ වූයේ බෙල්ජියම තුළ ඉස්මතු වන පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂාවන්ට අනුකූලව නවීනතම නිෂ්පාදන හඳුන්වා දෙන අතරතුර, නිෂ්පාදන කූඩය විවිධාංගීකරණයට ලක් කරමින් පොල් නිෂ්පාදන ආශ්‍රිත වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව සතු කොටස ඉහළ නැංවීම යි. බෙල්ජියම වියළි පොල් සහ පොල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් භාවිතයට ගන්නා චොක්ලට්, පේස්ට්‍රි, බිස්කට් සහ අනෙකුත් අතුරුපස  වර්ග නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයන් කිහිප දෙනෙකුගේ නිවහන බවට පත්ව ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 අප්‍රේල් 26 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close