ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාලය තුර්කියේ ඇන්ටාලියා හිදී විවෘත කෙරේ‍

ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාලය තුර්කියේ ඇන්ටාලියා හිදී විවෘත කෙරේ‍

තුර්කියේ විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් කවුස්ගොලු මැතිතුමා, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ඇන්ටාලියා පළාත කේන්ද්‍ර කොට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇන්ටාලියා හි කලාපීය හා දිස්ත්‍රික් නගරාධිපතිවරුන්, ව්‍යාපාර මණ්ඩලවල නියෝජිතයන් සහ ඇන්ටාලියා ආණ්ඩුකාර බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් යනාදීන්ගේ සහභාගීත්වයෙන්, 2021 නොවැම්බර් 6 වැනි දින ඇන්ටාලියා පළාතේ ඇලන්යා හිදී පවත්වන ලද උත්සවයක දී තුර්කියේ ඇන්ටාලියා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් කවුස්ගොලු මැතිතුමා, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා දිනෙන් දින ශක්තිමත් වන බව ප්‍රකාශ කළේ ය. එමෙන්ම, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථිකය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා තුර්කිය අපේක්ෂාවෙන් පසුවන බව ද විදේශ අමාත්‍ය කවුස්ගොලු මැතිතුමා ප්‍රකාශ කළේ ය. අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම සහ රටවල් දෙක අතර පවත්නා ශක්‍යතා පූර්ණ ලෙස භාවිතා කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. අමාත්‍ය කවුස්ගොලු මැතිතුමා තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳව ද සිහිපත් කළේ ය.

මෙහි දී සිය අදහස් පළ කළ තානාපතිවරයා, ඇන්ටාලියා සංචාරක කේන්ද්‍රස්ථානය තුළ නිර්වේතනික කොන්සල් කාර්යාලයක් විවෘත කිරීම මගින් වෙළඳාම, ආයෝජන, සංචාරක සහ සංස්කෘතික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඇන්ටාලියා පළාතේ ඇති මෙතෙක් භාවිතයට නොගත් අවස්ථා ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වන බව පැවසී ය. ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ව්‍යාපාරික ප්‍රජාවන් එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා මෙම නිර්වේතනික කොන්සල් කාර්යාලය කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

තවද, තානාපතිවරයා ඇලන්යා හි නිර්වේතනික කොන්සල්වරයා ලෙස පත්වූ අලි කඹුරෝග්ලු මහතාට සිය පත්වීම නිල වශයෙන් භාර දුන්නේ ය.

ශ්‍රී ලංකාව වෙත නව වෙළඳ අවස්ථා සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඇන්ටාලියා කලාපය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට තමන් කැපවන බවට කඹුරෝග්ලු මහතා සිය දේශනය අතරතුර දී සහතික විය.

ඇලන්යා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති මෙහ්මට් සහින් මහතා ද උත්සවය ඇමතූ අතර, නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වෙළඳ නියෝජිත කණ්ඩායමක් මෙහෙයවීමට කැමැත්තෙන් පසුවන බව ද ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා ‍

2021 නෙ‍ාවෙම්බර් 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close