ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය ජෝර්දානය තුළ ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය ජෝර්දානය තුළ ප්‍රවර්ධනය කෙරේ

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්වල අංගයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය විදහා දැක්වීමේ ප්‍රදර්ශනයක් දෙසැම්බර් 27 වැනි දින අම්මාන් හි ගැලරියා සාප්පු සංකීර්ණයේ දී පවත්වන ලදී. මෙම ගැලරියා සාප්පු සංකීර්ණය විශාලතම සහ ඉහළ පෙළේ සාප්පු සංකීර්ණ අතරින් එකක් වන අතර, එය නත්තල් නිවාඩු කාලය තුළ සැලකිය යුතු පිරිසක් ආකර්ෂණය කරගන්නා ජෝර්දානයේ පිහිටි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වේ.

ත්‍රාසජනක ක්‍රීඩා වන රළ මත ලිස්සා යාම, ධවල ජලයේ ලිස්සා යාම, උණුසුම් වායු බැලූන්, ජෝර්දානයේ දක්නට නොහැකි සිප් ලයිනිං ක්‍රීඩාව, මුහුදු ක්ෂීරපායින් සමඟ කිමිදීම සහ වනජීවී උද්‍යානවල ස්වභාවික වාසස්ථානවල සිදු කරන ත්‍රාසජනක ක්‍රීඩා යනාදිය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් විවිධ අංශ ආවරණය කෙරෙන ශ්‍රී ලංකාවේ දර්ශනීය පින්තූර මෙම ප්‍රදර්ශනය තුළින් නිරූපණය කෙරිණි.

මෙම සංචාරක ප්‍රවර්ධනයට සමගාමීව ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන වන ලංකා තේ, ලංකා ඇරබිකා කෝපි, ස්වභාවික රබර් නිෂ්පාදන, ස්වභාවික රබර්වලින් නිපදවන ව්‍යායාම උපකරණ, කාබනික පොල් නිෂ්පාදන, කොහු නිෂ්පාදන, ස්වාභාවික සබන් නිෂ්පාදන, නේචර්ස් සීක්‍රට් නිෂ්පාදන ඇතුළත් ශ්‍රී ලාංකික ආලේපන වර්ග, බරකා රූපලාවන්‍ය නිෂ්පාදන, ස්පා සිලෝන්, මුරුංගා සහ අනෝදා වැනි සුපිරි ආහාර කුඩු, ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ, අත්යන්ත්‍ර නිපැයුම්, දංකොටුව පෝසිලේන් යනාදිය මෙම ප්‍රදර්ශනය තුළින් විදහා දැක්විණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2021 දෙසැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close