ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසින් බින් ජාබීර් ජසීම් අල් සොරූර් මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසින් බින් ජාබීර් ජසීම් අල් සොරූර් මැතිතුමා නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

කටාර් තානාපති ජසීම් බින් ජාබීර් ජසීම් අල් සොරූර් මැතිතුමා 2021 අගෝස්තු 25 දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍ර සබඳතාවයට දෙරටේම ඉහළ පෙළේ රාජ්‍ය සංචාරයන් සාක්ෂි දරන බව සිහිපත් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ආර්ථික, වෙළෙඳ සහ සංචාරක කටයුතු ක්ෂේත්‍ර තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. විශේෂයෙන් වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය, ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය, සංචාරක අංශය සහ බලශක්ති අංශය ඇතුළුව, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජකයින් සඳහා හිතකර පරිසරය ගවේෂණය කරන ලෙස පීරිස් අමාත්‍යවරයා තානාපති සොරූර් මැතිතුමාට ආරාධනා කළේය.

පීරිස් අමාත්‍යවරයාගේ අදහස් සාදරයෙන් පිළිගත් තානාපති සොරූර් මැතිතුමා එතුමාට සිය අවංක ප්‍රණාමය පුද කළ අතර, කොවිඩ්-19 ට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කටාර් රජය සූදානම් බව යළි අවධාරණය කළේය. මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ දී හදිසි සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා සහාය ලබා දීමට කටාර් රජය ඉදිරිපත් වීම පිළිබඳව පීරිස් අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සමුළුවල දී කටාර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දෙන නොසැලෙන සහයෝගය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා කෘතඥතාවයෙන් යුතුව පිළිගත්තේය.

කටාර් රාජ්‍යයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා කටාර්හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක ප්‍රජාව ලබා දුන් වටිනා දායකත්වය පිළිබඳව සඳහන් කළ තානාපති සෝරූර් මැතිතුමා, ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා ලබා දීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළේය. දෙරට අතර ව්‍යාපාරික නියෝජිතයින්ගේ නිතිපතා හුවමාරු කරගැනීමෙන් වෙළෙඳ හා ආයෝඡන යන අංශ දෙකෙහිම අන්‍යෝන්ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය තවදුරටත් ව්‍යාප්ත කිරීමට පහසුකම් සැලසෙන බව පීරිස් අමාත්‍ය මැතිතුමා සහ තානාපති සොරූර් මැතිතුමා යන දෙදෙනාම සඳහන් කළහ.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම හමුවට සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close