ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක අපේක්ෂාවන් ප්‍රවර්‍ධනය කිරීම සඳහා වියට්නාමයේ පිටතට යන සංචාරක කටයුතු නියෝජිතයින් සඳහා දැනුවත් කිරීමේ සැසියක් පවත්වයි

ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක අපේක්ෂාවන් ප්‍රවර්‍ධනය කිරීම සඳහා වියට්නාමයේ පිටතට යන සංචාරක කටයුතු නියෝජිතයින් සඳහා දැනුවත් කිරීමේ සැසියක් පවත්වයි

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) වියට්නාමයේ සංචාරක නියෝජිතයින්ගේ සංගමය (VISTA) සමඟ එක්ව 2021 සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක අපේක්ෂාවන් ප්‍රවර්‍ධනය කිරීම පිණිස වියට්නාමයේ පිටතට යන සංචාරක නියෝජිතයින් සඳහා අතථ්‍ය දැනුවත් කිරීමේ සැසියක් සංවිධානය කළේය.  මෙම සැසිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ, ශ්‍රී ලංකාව තවමත් වියට්නාම ජාතිකයින් අතර ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් නොවන බැවින්, වියට්නාමයේ සංචාරක නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරක අපේක්ෂාවන් පිළිබඳව දැනුවත් කිරීමයි. වියට්නාමයේ පිටතට යන සංචාරක නියෝජිතයින් හැත්තෑවකට (70) අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මැතිතුමා සිය ආරම්භක කතාවේ දී  මෙම කාලෝචිත දැනුවත් කිරීමේ සැසිවාරයට සහභාගී වූ සියලු දෙනාටම සහ සංවිධායකයින්ට සිය ස්තූතිය පළ කරමින්, වියට්නාමයේ බෞද්ධ සංස්කෘතික හා සුවතා සංචාරක අංශ ප්‍රවර්‍ධනය කිරීම සඳහා පවතින අතිවිශාල අවස්ථා පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ මධුබානි පෙරේරා මහත්මිය, අග්නිදිග ආසියාවේ ප්‍රධාන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සඳහා වියට්නාමයේ සංචාරක ව්‍යාපාරය තුළ ඉදිරි මාවත පිළිබඳව අවධානය යොමු කළාය. වියට්නාමයේ විවිධ සංචාරක ප්‍රදර්ශන සඳහා සැලකිය යුතු ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පැවැත්වීමේ සහ සහභාගී වීමේ වැදගත්කම ද පෙරේරා මහත්මිය අවධාරණය කළාය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අලෙවි අධ්‍යක්ෂ දුෂාන් වික්‍රමසූරිය මහතා “ශ්‍රී ලංකා ගමනාන්තය” පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

වියට්නාමයේ සංචාරක නියෝජිතයින්ගේ සංගමය නියෝජනය කරමින් එහි උප සභාපති ෆුං කුවාං තාං මහතා වියට්නාමයේ සංචාරක නියෝජිතයින් සඳහා මෙම අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව සිය අවංක ස්තූතිය හා ඇගයීම පළ කළේය.

ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක පවතින සංචාරක අංශ සහ අවස්ථා පිළිබඳව වියට්නාම නියෝජිතයින් දැනුවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ තානාපති කාර්යාලය තාං මහතාගේ පැසසුමට ලක් විය. මෙම සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සංචාරක ක්‍ෂේත්‍රයේ සබඳතා ඉහළ නැංවීම පිණිස ඉතාමත් වැදගත් වන ජනතාව අතර සබඳතා වර්ධනය කර ගැනීම  සඳහා වාර්ෂිකව හුරුපුරුදු කිරීමේ සංචාර සංවිධානය කිරීම, දෙරටේ සංචාරක නියෝජිතයින් සම්බන්ධ කිරීම, අන්තර් ව්‍යාපාර රැස්වීම් සංවිධානය කිරීම යනාදිය පිළිබඳව වියට්නාම සංචාරක නියෝජිතයෝ අවධාරණය කළහ.

ශ්‍රී ලංකා සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (SLAITO) උප සභාපති නිෂාඩ් විජේතුංග මහතා, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ (THASL) සභාපති සනත් උක්වත්ත මහතා සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංගමයේ (ASMET) එක්ස්කො සාමාජික අනුර අබේවික්‍රම මහතා ඔවුන්ගේ ප්‍රයෝජනවත් අවබෝධය හා ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම්වලින් දායක වෙමින් ප්‍රශ්නෝත්තර සැසිය හා එක් විය. VISTA හි උප සභාපති ජියැං බියෙන් මහත්මිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කනිෂ්ඨ කළමනාකරු ශිරාණි හේරත් මහත්මිය ස්තූති කථාව කළහ. වියට්නාමයේ හැනොයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ ලේකම් ප්‍රසාදි බූමවලගේ මහත්මිය විසින් මෙම උත්සවය මෙහෙයවනු ලැබීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හැනොයි

2021 සැප්තැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close