ශ්‍රී ලංකාවේ අන්තරායකර රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තිට" ඔස්කාර්" සම්මානය හිමි වෙයි

ශ්‍රී ලංකාවේ අන්තරායකර රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තිට” ඔස්කාර්” සම්මානය හිමි වෙයි

‘හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය’ලෙස හැඳින්වෙන 2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී තිබේ.

මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරන වඩාත් ඵලදායී ප්‍රතිපත්ති මෙම සම්මාන ප්‍රදානයේදී සැලකිල්ලට ගෙන තිබේ. ලොව මෙතෙක් අත්කර ගෙන ඇති සියදිවි නසාගැනීම් අනුපාතයෙහි විශාලතම අඩුවීමට ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් ප්‍රතිපත්ති දෙක හේතු වී තිබේ.එමඟින් වසර 20 ක් තුළ එක් ජීවිතයක් සඳහා සෘජු රජයේ වියදම ඇමරිකානු ඩොලර් 50 ටත් අඩු මුදලකට ජීවිත 93,000 ක් පමණ බේරාගෙන ඇත.

ලෝක අනාගත කවුන්සිලය විසින් ප්‍රදානය කරනු ලබන මෙම ත්‍යාගය, මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP), ජාත්‍යන්තර රසායනික කළමනාකරණය සඳහා උපායමාර්ගික ප්‍රවේශය (SAICM), ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD), එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය (UNITAR) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව, මයිකල් ඔටෝ පදනමේ සහ ජුවා පදනමේ ද සහාය ඇතිව සංවිධානය කරනු ලැබේ.

“වර්තමාන හා අනාගත පරම්පරාවන් වෙනුවෙන්, පාර්ශවකරුවන් විසින් අන්තරායකර රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම අතිශයින්ම වැදගත්ය. ශ්‍රී ලංකාව සහ අනෙකුත් ජයග්‍රාහී ප්‍රතිපත්ති ඉදිරි මාවත පෙන්වන අතර, එය ලොව පුරා ප්‍රතිපත්ති සම්පාදකයින් ප්‍රබෝධමත් කරවයි.” යැයි ලෝක අනාගත කවුන්සිලයේ (WFC) අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩ්‍රා වැන්ඩෙල් මහත්මිය පවසයි.

මෙම සම්මානය සඳහා ශ්‍රී ලාංකික ප්‍රතිපත්ති නම් කිරීම සහ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට ඔහු දැරූ සියලු ප්‍රයත්න පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය ස්කොට්ලන්තයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මහාචාර්ය මයිකල් එඩ්ල්ස්ටන් මහතාට ප්‍රශංසා කරයි.

2021 අනාගත ප්‍රතිපත්ති සම්මාන උළෙලේ ජයග්‍රාහී ප්‍රතිපත්ති 2021 ජූලි 6 වැනි දින පැවැත්වෙන ඉහළ මට්ටමේ අතථ්‍ය සම්මාන ප්‍රදාන උළෙලක දී සමරනු ලැබේ. මෙම සම්මාන ප්‍රදාන උළෙලට සහභාගී වීමට සහ 2021 අනාගත ප්‍රතිපත්ති සම්මානය සඳහා වන ජයග්‍රාහී ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම පිණිස, www.worldfuturecouncil.org/chemicals වෙත පිවිසෙන්න.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2021 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close