ශ්‍රී ලංකාවට සහය ලබා දෙන්න - Support Sri Lanka

 ශ්‍රී ලංකාවට සහය ලබා දෙන්න – Support Sri Lanka

ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට සැපයීම තහවුරු කිරීම සඳහා මූල්‍ය ආධාර මගින් ශ්‍රී ලංකාවේ ආහාර සහ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමේ අරමුණින් ‘Support Sri Lanka’ නමින් වැඩසටහනක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලදි.

2022 මැයි 27 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී පවත්වන ලද මෙම වැඩසටහන මගින් ව්‍යාපාරික ප්‍රභූවරුන්, සමාජ සේවකයන් සහ ශ්‍රී ලංකාවට සුබ පතන්නන් සඳහා සත්කාරකත්වය සපයන ලදි. සිය අදහස් පළ කළ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මැතිතුමා, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අර්බුදය තාවකාලික එකක් බවත්, එම පසුබෑම මඟහරවා රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් සඳහන් කළේ ය. සාර්ක් සංවිධානය සහ ලොව අනෙකුත් මිත්‍ර රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව සඳහන් කළ එතුමා, ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සහ ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලබා දුන් සහතිකය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, මානුෂීය ආධාර සහ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට, තමිල්නාඩු රජයට සහ ප්‍රාන්තයේ ජනතාවට සිය ප්‍රසාදය පළ කළේ ය.

එම්. එස්. ස්වාමිනාදන් පර්යේෂණ පදනමේ පරසුරාමන් ඔලිවන්නන් මහතා, හිටපු රොටරි ප්‍රධානී එම්. එස්. මධිවානන් මහතා, කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු වී. ජී. සන්තෝෂම් මහතා, වීරමනී ඖෂධ සමාගමේ හිමිකරු වන සුධාකර් ජයරාජ් මහතා, කොඩෛකනාල් හි හෝටල්කරුවකු වන ශ්‍රීහරන් බාලන් මහතා, ඉන්දියාවේ ඇඩ්වෙන්චර් වුවර් ඔපරේටර්ස් සංගමයේ සභාපති ආචාර්ය මුතුකුමාර් මහතා සහ සාඵල්‍යතා සායනික ආයතනයක අධ්‍යක්ෂවරයකු ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී වල්ලලාර් සභෛ හි (අර්ට්පෙරුන්ජෝති, වඩලූර්) සාමාජිකයන් ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සහ ආධාර සැපයීමට එකඟ වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස වෙත සිය ස්තුතිය පුද කළ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව තුළ අපනයනය ඉලක්ක කරගත් නව කර්මාන්ත ඇරඹීම ඇතුළු වත්මන් අවශ්‍යතා පිළිබඳව පැහැදිලි කළේ ය. මෙරට ආර්ථිකයට විශාල අභියෝගයක් එල්ල කළ කොවිඩ්-19 ගෝලීය වසංගතය සහ පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා මත යැපෙන මෙරට ආදායමට දැඩි බලපෑමක් එල්ල වූ බවද එතුමා සඳහන් කළේ ය. වසංගතය හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසකට විදේශ රැකියා අහිමි වූ බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. පුරාණ ග්‍රන්ථවල ‘කුබේර භූමි’ (ධනය සපිරි දේශය) ලෙසින් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව යළිදු ප්‍රබෝධමත් වෙමින් පෙර තිබූ තේජස හිමි කරගනු ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිය දේශනය නිම කළේ ය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 ජූනි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close