විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ඉන්දීය සාගර කලාපයේ කලාපීය ආරක්ෂක අභියෝගයන් අවම කිරීම සඳහා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන සහ ඉන්දියන් සාගරය භාවිත කරන්නන් සියල්ලගේම අවශ්‍යතා කෙරෙහි සංවේදී වන පුළුල් ආරක්‍ෂක සංවිධාන ව්‍යුහයක් නිර්මාණය කරන ලෙස ඉල්ලීමක් කළේය. කලාපීය වේදිකා මගින් සපයනු ලබන්නේ, ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් නොමැති විට ප්‍රයෝජනවත් නොවන නෛතික හා ප්‍රතිපත්තිමය රාමුවක් පමණක් බව ප්‍රකාශ කරන ඔහු, තිරසාර වර්ධනයට සහාය ලබාදෙන කලාපයේ ගතිකතාවයන් සහ සහජීවනයන් තුළින් ජනතාවට උපරිම ඵල නෙලාගත හැකි බව සහතික කෙරෙන, ආරක්ෂක හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව දිරිමත් කරන ක්‍රියාකාරී වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
විදේශ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළේ, 2019 නොවැම්බර් 7 වැනි දින අබුඩාබි හි දී පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) 19 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අවස්ථාවේ දී ය. ඉදිරි වසර දෙක සඳහා එහි සභාපතිත්වය දකුණු අප්‍රිකාව වෙතින් ලබා ගන්නා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සංවර්ධන අරමුදලක් පිහිටුවීමේ ඉලක්කයට “පුනර්ජීවනයක් ලබා දීමට” කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නේය.
කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති උදාර පුළුල් දැක්ම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ස්වල්ප දෙනෙකු පමණක් සිටිය දී වුව ද, ජාතික හා කලාපීය සමෘද්ධිය උදෙසා ස්ථායී හා සුරක්‍ෂිත සමුද්‍රීය පසුබිමක ඇති වැදගත්කම ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ වටහාගෙන ඇති බව ආර්යසිංහ මහතා කියා සිටියේය. 1971 දී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ඉන්දියානු සාගර සාම කලාපය (IOPZ) පිලිබඳ යෝජනාව, 1973 දී සාගර නීතිය පිළිබඳ තුන්වන එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) සම්මත කිරීම සඳහා මඟ පෙන්වීම සහ 1985 ජූලි මාසයේ දී කොළඹ දී පැවති නව සාගර පාලන ක්‍රමයේ (IOMAC-I) සන්දර්භය තුළ සමුද්‍රීය කටයුතු පිළිබඳ ඉන්දියානු සාගරයේ ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ සමුළුව පිළිබඳව ද ඔහු සඳහන් කළේය.
බෙදුම්වාදී ත්‍රස්තවාදී ගැටුමේ දී සමුද්‍රීය ආරක්ෂක තර්ජන රැසකට මුහුණ දෙමින් ලබාගත් අත්දැකීම් ද ප්‍රයෝජනයට ගනිමින්, ශ්‍රී ලංකාව 2018 සිට ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (IORA-WGMSS) සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇත. 2019 අගෝස්තු මාසයේ දී කොළඹ දී පැවති මෙම කණ්ඩායමේ පළමු රැස්වීම මඟින් සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන අංශයන්හි සාමාජික රටවලට පොදු ප්‍රමුඛතා සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් සපයන ලද අතර, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම, පවත්නා සමුද්‍රීය නීති සංග්‍රහය තුළින් පැනනඟින සමුද්‍රීය ආරක්ෂණ අභියෝග, මත්ද්‍රව්‍ය ජාවාරම, දේශසීමා ඉක්මවමින් සිදුකරන අපරාධ සහ ගෝලීය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් මෙහි දී මූලික අවධානය යොමු කරන ලදී. කොළඹ දී පැවති රැස්වීමේ දී, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ කාර්ය සැලැස්ම කෙටුම්පත් කොට අවසන් කළ බවත්, මෙහි දී කෙටිකාලීන, අඛණ්ඩ හා දිගු කාලීන ව්‍යාපෘති 54 ක් හඳුනාගත් බවත් ඔහු පැවසීය. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම් කාර්යාලයේ ද සහාය ඇතිව, ව්‍යාපෘති 16 ක් ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සාමාජික රටවල් දැනටමත් වගකීම භාරගෙන තිබෙන බව සඳහන් කිරීම, දිරිගන්වන සුළු කරුණක් වෙයි.
ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උදෙසා ශ්‍රී ලංකාව දක්වන කැපවීම, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයට පමණක් සීමා නොවන බව ප්‍රකාශ කළ ඔහු, ඉන්දියානු සාගරයේ අනාගතය ගැන සාකච්ඡා කිරීම පිණිස ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් 40 ක් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 300 දෙනෙකු කොළඹට ඒකරාශී කළ 2018 ඔක්තෝබර් මාසයේ දී පවත්වන ලද “ඉන්දියන් සාගරය: අපේ අනාගතය නිර්වචනය කරයි” යන ට්‍රැක් 1.5 සංවාදය පිළිබඳව සඳහන් කළේය. සහභාගී වන රටවල් විසින් “අවබෝධතා ප්‍රකාශයක්” සකස් කිරීමේ අරමුණින් යුතුව, ලබන වසරේ දී “ඉන්දියන් සාගරය: අපේ අනාගතය නිර්වචනය කරයි”, ට්‍රැක් 1 අමාත්‍ය සමුළුව කැඳවීමට ද ශ්‍රී ලංකාව විසින් සැලසුම් කරන ලදී.
ආර්ථික කටයුතු අංශයේ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා සහ සාගර කටයුතු හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂිකා ඩිලානි වීරකෝන් මහත්මිය මෙම අමාත්‍ය රැස්වීමට විදේශ ලේකම්වරයා සමඟ එක් වූ අතර, මෙම රැස්වීමට පෙරාතුව පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට ද ඔවුහු සහභාගී වූහ.
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයට, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කොමරෝස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මුරුසිය, මාලදිවයින, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහ යේමනය යන රටවල් අයත්වේ. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ වර්තමාන සංවාද පාර්ශ්වකරුවන් වන්නේ චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල්ය.
Full text of the speech could be downloaded via: http://www.mfa.gov.lk/wp-content/uploads/2019/11/IORA-Speech-1.pdf