විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ  සංචාරය සාර්ථක ලෙස අවසන් කරයි

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ  සංචාරය සාර්ථක ලෙස අවසන් කරයි

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා 2022 මාර්තු 19 සිට 24 යන දිනවල සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත විය.

රාජ්‍ය අමාත්‍ය ජයරත්න මැතිතුමා සිය සංචාරය අතරතුරදී, සෞදි අරාබියේ මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ කම්කරු මානව සම්පත් සහ සමාජ සංවර්ධන උප අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා බින් නසර් අබුත්නයින් මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය. සෞදි අරාබි රාජධානිය වෙත නිපුණතා පූර්ණ ශ්‍රමිකයන් යැවීම ඉහළ නැංවීම සහ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දෙරටෙ හි නියෝජිතායතන අතර දැනට පවතින සහයෝගීතාව වැඩිදියුණු කිරීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ ප්‍රමුඛස්ථානය හිමි විය.

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, ආයෝජන අමාත්‍ය ඛලීඩ් අල් ෆාලි මැතිතුමා  සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අදෙල් බින් අහ්මඩ් අල් ජුබෙයිර් මැතිතුමා හමුවූ අවස්ථාවේ දී, රාජ්‍ය අමාත්‍ය ජයරත්න මැතිතුමා ද අමාත්‍ය බාලසූරිය මැතිතුමා සමඟ ඊට සහභාගී විය.

මානව සම්පත් හා ශ්‍රම වෙළඳපොළ කමිටුවේ සභාපති ඉංජිනේරු මන්සූර් ඒ. අල්ෂත්‍රි මහතාගේ  ප්‍රධානත්වයෙන් රියාද් වාණිජ මණ්ඩලයේ මානව සම්පත් සහ ශ්‍රම වෙළඳපොළ කමිටුවේ සාමාජිකයින් සමඟ පැවති රැස්වීමකට ද, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා  සහභාගී විය.

රියාද් හි කාන්තා සුභසාධන මධ්‍යස්ථානය තුළ සංචාරයක නිරත වීම, සෞදි අරාබි රාජධානියේ බඳවා ගැනීමේ සමාගම් සඳහා වූ සම්බන්ධීකරණ කවුන්සිලය සමඟ හමුවක් පැවැත්වීම, අල් අජීර් බඳවා ගැනීමේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ෆයිසාල් බින් එම්. වලාන් මහතා හමු වීම, පිළිසරණක් නොමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සඳහා රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්‍ෂිත නිවස තුළ සංචාරයක නිරත වීම යනාදී කටයුතු, රාජ්‍ය අමාත්‍ය ජයරත්න මැතිතුමා සිය සංචාරය අතරතුර සිදු කළ නිරතවීම්වලට ඇතුළත් විය.

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මැතිතුමා, රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා සහ තානාපති කාර්යාලයේ නිලධාරීහු ද, රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම කටයුතු සඳහා සම්බන්ධ වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2022 මාර්තු 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close