විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මාධ්‍ය වෘත්තිකයන් සඳහා සහයෝගිතා ප්‍රවර්ධන සුහද හමුවක් පවත්වයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මාධ්‍ය වෘත්තිකයන් සඳහා සහයෝගිතා ප්‍රවර්ධන සුහද හමුවක් පවත්වයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා මාධ්‍ය-සුහඳ හමුවක් 2026 පෙබරවාරි 20 වැනි දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පවත්වන ලද අතර, ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ආරාධිතයන් 175කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයන්හිදී අමාත්‍යාංශයේ කාර්යභාරයන් සන්නිවේදනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාව සහ වෘත්තීමය සහය හඳුනා ගැනීම සහ අගය කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා රැස්ව සිටි පිරිස අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති රාමුව තුළ ප්‍රකාශිත ජාතික දැක්ම ඉදිරියට ගෙන යෑම සඳහා රජයේ කැපවීම අවධාරණය කළේය. විනිවිද පෙනෙන මහජන සන්නිවේදනය සහ වගකිවයුතු මාධ්‍ය විසින් ඉටු කරනු ලබන ඵලදායී කාර්යභාරය තුළින් රටේ ප්‍රගතිය සහ ජාත්‍යන්තර වශයෙන් ඇති කරගන්නා කීර්ති නාමය ශක්තිමත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

2025 වසරේදී සංචාරක පැමිණීම් මිලියන 2.36 දක්වා ළඟා වී ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක ආදායමක් ඉපයීම, සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ඉක්මවීම ඇතුළු සැලකිය යුතු ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාව වාර්තා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  සංචාරක ව්‍යාපාරයෙන් සහ ප්‍රේෂණවලින් ලැබුණු ඒකාබද්ධ ඉපැයීම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වූ අතර, එය අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ ආයතනික ප්‍රතිසංස්කරණවල දායකත්වය පිළිබිඹු කරයි.

අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය හැඩගැස්වීමේදී සහ නිවැරදි හා කාලෝචිත වාර්තාකරණය තුළින් මහජන විශ්වාසය ශක්තිමත් කිරීමේදී මාධ්‍ය ප්‍රධාන හවුල්කරුවෙකු බවයි. අනාගතය දෙස බලමින්, අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේ, වෙළඳාම, ආයෝජන, සංචාරක සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් රටෙහි ශක්‍යතාවන් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධාන වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කරන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ ඇතුළු ඉදිරි ජාතික මුලපිරීම් සඳහා සහය වීමට මාධ්‍ය දක්වන අඛණ්ඩ සහයෝගීතාව ඉතා වැදගත් වන බවයි.

මාධ්‍යවේදීන් පිළිගනිමින්, සහකාර ප්‍රදූත ප්‍රධානී විහංගි සේමිනී, විනිවිදභාවය, ප්‍රවේශ්‍යතාව සහ සේවා සැපයීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධ කරන ඒකාබද්ධ වෙබ් වේදිකාවක් ඇතුළුව, ඒකාබද්ධ ඩිජිටල් සහ කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වුණු සන්නිවේදන රාමුවක් හරහා මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ඩිජිටල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ අමාත්‍යාංශයේ දැක්ම පැහැදිලි කළාය.

ජනාධිපති මාධ්‍ය අංශය, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද  මෙම සුහද හමුවට සහභාගී වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 20 වැනි දින

Please follow and like us:

Close