විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මණ්ඩල සමඟ සාකච්ඡාවක නිරත වෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මණ්ඩල සමඟ සාකච්ඡාවක නිරත වෙයි

 මෙරට අපනයනකරුවන් සඳහා පවතින අවස්ථා සහ විභවයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේ දී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සහ අදහස් පළ කිරීම යනාදිය අරමුණු කරගනිමින්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 12 වැනි දින, අපනයනය ඉලක්ක කරගත් සංවිධාන සහ වාණිජ මණ්ඩල විශාල සංඛ්‍යාවක් නියෝජනය කරන සභාපතිවරුන්, මහලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයන් හමුවී සාකච්ඡාවක් පැවැත්වී ය. අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා විදේශ ලේකම් තානාපති අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  පිරිසක් ද සහභාගී වූහ.

ව්‍යාපාරික ප්‍රජාවට සිය ව්‍යාපාරික කටයුතු දියුණු කිරීමට සහ අපනයන ඉහළ නැංවීම සඳහා අමාත්‍යංශයට සහය වීමට සහ පහසුකම් සැලසිය හැකි වඩාත් ඵලදායි ක්‍රියා මාර්ග පිළිබඳ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පෞද්ගලික අංශයේ ආයතනික හා වාණිජ මණ්ඩල සමඟ මෙම හමුව පවත්වන ලදී. උත්සව සභාව ඇමතූ විදේශ කටයුතු අමාත්‍යවරයා පෞද්ගලික අංශය සහ වාණිජ මණ්ඩල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවලට සහය වීමට සිය අමාත්‍යංශය කැපවී සිටින බවත්, එමඟින් රටේ අපනයන ක්ෂේත්‍රයට අවශ්‍ය ආර්ථික ප්‍රගතිය සහ ආධාර ලබාදීමට කටයුතු සැලසෙන බවත් සඳහන් කළේ ය. පුද්ගලික සහ ආයතනික අංශයට සිය ආර්ථික හා වෙළඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහය වීමට මෙන්ම පහසුකම් සැලසීමටත්, ඔවුන් විදේශ රටවල් වෙත  යොමු කිරීමේ කටයුතුවලට සම්බන්ධ කිරීම සඳහාත්, අමාත්‍යංශයේ විෂය පථය යටතේ පවතින සියලුම දූත මණ්ඩල, පුද්ගලික අංශය සමඟ වෘත්තීයමය වශයෙන් අඛණ්ඩව සම්බන්ධ වීමට කටයුතු කරන බවට එතුමා මෙහිදී සහතික විය.

අපනයන ඉහළ නැංවීම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) සාර්ථකව අවසන් කිරීම මෙම අවස්ථාවේ දී විදේශ කටයුතු අමාත්‍යංශය සිය ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව, මෙම හමුව සඳහා සහභාගී වූ සංවිධාන සහ වාණිජ මණ්ඩල විසින් අවධාරණය කෙරිණි. ඍණාත්මක මාධ්‍ය ආවරණය හේතුවෙන් පැන නගින ගැටළු විසඳීම සඳහා මනා ව්‍යුහගත යාන්ත්‍රණයක් රජය අනුගමනය කළ යුතු බවද ඔවුහු මෙහිදී ප්‍රකාශ කළහ. එමඟින් මෙරට ප්‍රතිරූපය ඉහළ නැංවීමට හැකියාව උදා වනු ඇත.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය, තේ වෙළඳ සංගමය, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඇතුළු වාණිජ හා අපනයන ආශ්‍රිත නැඹුරුවක් සහිත ප්‍රමුඛ පෙළේ සංවිධාන 20 කට අධික සංඛ්‍යාවක් මෙම හමුවට සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝබර් 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close