විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයින් වෙත ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය ඉදිරිපත් කරයි

විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයින් වෙත ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය ඉදිරිපත් කරයි

ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභාවේ, ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිවරයා සහ සාමාජිකයින් සමඟ උදෑසන ආහාරය සමඟ පැවති රැස්වීමේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහභාගී විය.

විශේෂයෙන්ම මෙවර යුරෝපා සංගමයේ ප්‍රංශ සභාපතිත්වයේ සන්දර්භය තුළ, ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අඛණ්ඩ උනන්දුව පිළිබඳව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ප්‍රංශ සෙනෙට් සභිකයින්ට ස්තුතිය පුද කළේය. සංචාරක, විදේශ ප්‍රේෂණ සහ වෙළෙඳාම ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ලැබෙන විදේශ විනිමය ගලා ඒම සැලකිය යුතු ලෙස අඩුවීම පිළිබඳව විශේෂ සඳහනක් කරමින්,රටේ ආර්ථිකය සඳහා කොවිඩ් වසංගතයේ අහිතකර බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග පිළිබඳ වාර්තාවක් එතුමා ඉදිරිපත් කළේය. රට දැන් ක්‍රමානුකූලව ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, ආර්ථික ව්‍යවසායයේ ස්ථාවර ප්‍රබෝධයක් දකින බව එතුමා පැහැදිලි කළේය.

සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව අමාත්‍යවරයා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයින් දැනුවත් කළේය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය, තිරසාර සංවර්ධන ඉලක්ක 16 කවුන්සිලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය වැනි දේශීය යාන්ත්‍රණවල මුල පිරීම් පිළිබඳව එතුමා අදහස් පළ කළේය. වර්තමානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විමසන විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් පුළුල් ව්‍යායාමයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ විද්වත් කමිටුව විසින් ඔවුන්ගේ කාර්යය සම්පූර්ණ කිරීමට ආසන්නව පවතින අතර, ඔවුන්ගේ වාර්තාව ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් එතුමා සඳහන් කළේය.

වසර 42 ක් පැරණි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති,මාර්තු මුල් සතියේ විවාදයට ගැනීමට අපේක්ෂිත, රජය විසින් යෝජනා කරන ලද සංශෝධන සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා සඳහන් කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා තමා ජිනීවා බලා යන බවත්,  ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ ගත් සැලකිය යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රංශ ජනරජය විසින් අවබෝධ කරගනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අනතුරුව පැවති සක්‍රිය ප්‍රශ්නෝත්තර සැසියේදී ආර්ථිකය, වරාය නගරයට අදාළ ආයෝජන ක්‍රියා පටිපාටි, රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්‍රම, ශ්‍රම කටයුතු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මුලපිරීම් සහ විදේශ ප්‍රතිපත්ති ඉදිරිදර්ශන සම්බන්ධ පුළුල් පරාසයක ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

ප්‍රංශ-ශ්‍රී ලංකා සෙනෙට් කණ්ඩායමේ සභාපති,සෙනෙට් සභික ජොඑල් ගුවේරියු මැතිතුමා මහාචාර්ය පීරිස් මැතිතුමාගේ පැමිණීම සහ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිය පුද කළේය. ලබන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තමන් මහත් අපේක්ෂා සහගතව සිටින බවපැමිණ සිටි සාමාජිකයෝ පැවසූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 පෙබරවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close