විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා තුර්කියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා තුර්කියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ මැතිතුමා 2021 සැප්තැම්බර් 17 වැනි සිකුරාදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පිළිගත්තේ ය.

විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා, 2016 දී නිරත වූ සිය ඵලදායි දින දෙකක ශ්‍රී ලංකා සංචාරය උණුසුම් ලෙස සිහිපත් කළේය. මෙම සංචාරය තුළ දී ඔහු වෙනුවෙන් සලසා තිබූ පහසුකම් අමාත්‍යවරයා අගය කළේය. විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ද තුර්කියේ නිරත වූ සංචාර කිහිපයක්ම සතුටින් සිහිපත් කළ අතර, එහි දී තමා ලැබූ පොහොසත් අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වීය. ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයෙක් නොබෝ දිනකින් තමා උපන් නගරයේ දී රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව තුර්කියේ විදේශ අමාත්‍යවරයා සතුට පළ කළේය.

ඔවුන්ගේ අන්‍යෝන්‍ය සංචාරයන් පිළිබඳව ඇගයීමේ දී දෙරට අතර, විශේෂයෙන් ආර්ථික හා වෙළෙඳ සබඳතා අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වෙනත් මට්ටම්වල සංචාරයන් සහ අන්තර් ක්‍රියාකාරකම් තුළින් සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් බව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සඳහන් කළහ. දෙරට භූගෝලීය වශයෙන් දුරස්ව පැවතුනද, දෙරට අතර සබඳතා ඉතා සමීප බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා පැවසීය. කොවිඩ්-19 වසංගතය අතරතුර දී වෙන්ටිලේටර් සහ අනෙකුත් උපකරණ සැපයීමේ දී තුර්කියෙන් ශ්‍රී ලංකාවට නොමසුරු ආධාර ලබා දුන් බව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, සුනාමි ව්‍යසනයෙන් පසු නිවාස ලබා දීම සඳහා තුර්කිය ලබා දුන් සහයෝගය ද අගය කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො. මිලියන 100 සිට ක්‍රමයෙන් ඉහළ ගොස් වසර තුළ දී ඇ.ඩො. මිලියන 200 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබීම අමාත්‍යවරු අගය කළහ.

තුර්කිය වෙත සිදු කෙරෙන, දැනට 80% ක් තේවලින් සමන්විත අපනයනය විවිධාංගීකරණය කළ යුතු බවත්, තුර්කිය ප්‍රවීණතාවක් දරන ඉදිකිරීම් සහ ඖෂධ කර්මාන්තය වැනි වර්‍ධනය වන ක්ෂේත්‍රවල ආර්ථික වෙළෙඳ කටයුතු සහ ආයෝජනය ඉහළ නැංවීම සඳහා දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතින බවත් අවධාරණය කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, දේශීය වෙළෙඳපොළ සඳහා සහ ඉන් ඔබ්බට ඖෂධ නිෂ්පාදනය සඳහා නිශ්චිත ආර්ථික නිදහස් කලාප ඇති කරමින් මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කළේය. තුර්කි ඉදිකිරීම් අංශය ලොව දෙවැනි විශාලතම අංශය බවත් ඔවුන්ට තම කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන්ද ව්‍යාපෘති ගණනාවක් ඇති බවත් තුර්කි විදේශ අමාත්‍යාවරයා අවධාරණය කළේ ය. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘති, ආයෝජන සහ මුලපිරීම් සඳහා අවස්ථා සැපයීමට හැකි වන පරිදි, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ වැදගත් ගිවිසුම්වලට එළඹීම පිළිබඳව අමාත්‍යවරු දෙදෙනා උනන්දුවක් දැක්වූහ. වැදගත් ගෝලීය ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස එරටේ කාර්යභාරය ඉහළ නැංවීම පිණිස තුර්කියේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය දක්වා ව්‍යාපෘති සාර්ථක කර ගැනීම පිළිබඳ අත්දැකීම් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්කාරා සහ කොළඹ අතර ගුවන් සම්බන්ධතා සහ සබඳතා හා බැඳීම් නව මට්ටම් කරා ඉහළ නැංවිය හැකි කලාපීය කේත හුවමාරු ගුවන් ගමන් පිළිබඳ ගවේෂණය කිරීමේ හැකියාවන් සහ ඒ ඒ වාණිජ මණ්ඩල හා ව්‍යාපාරික අංශ අතර හුවමාරුව ඇතුළුව අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව ද ඇමැතිවරු දෙදෙනා සාකච්ඡා කළහ. කටයුතු අවසන් වූ හා ක්‍රියාත්මක කිරීමේ අවසන් අදියරේ පැවති ගිවිසුම් කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වයම භාර ගත්තේය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේදී තුර්කි ජාතිකයින් දෙදෙනෙකු මිය යාම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිය කණගාටුව පළ කළ අතර, අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව යාවත්කාලීන ලබා දුන්නේය. සියලුම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටීමේ අවශ්‍යතාවයත්, අන්තවාදයන්ගේ නැඟී සිටීම ඊට ඇති සබඳතාවයත් සාකච්ඡා කළ අමාත්‍යවරුන් දෙදෙනා, මානව හිමිකම් දේශපාලනීකරණයට හා සමහර පාර්ශ්වයන් විසින් තෝරාගත් මානව හිමිකම් මෙවලම් ලෙස යොදා ගැනීමට එරෙහිව අදහස් දැක්වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංසදවල දී ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීම සඳහා ප්‍රතිඥා දුන්හ.

තමා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංචාරය කල් දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා සඳහන් කළේය. නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා තුර්කි විදේශ අමාත්‍යවරයාට ආරාධනාවක් කළේය.

අමාත්‍යවරුන් දෙදෙනා දෙරට අතර සුහද හා සමීප සබඳතා පුළුල් කර ගැනීමට අදහස් කළ අතර, කොවිඩ් වසංගතයෙන් පසුව තවදුරටත් අන්තර් ක්‍රියාකාරකම් ආරම්භ කළ හැකි බවට අපේක්ෂාව පළ කළහ.

විිදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close