විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවෙයි 

විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවෙයි 

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූලි 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවිය.

අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම සාකච්ඡාව අතරතුරදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ විශේෂයෙන් ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් නේවාසික සම්බන්ධීකාරක දැනුම්වත් කළේ ය. එමෙන්ම, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් ද සිය ගැඹුරු කෘතඥතාව  පළ කළේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි ආයතන පිරිනමන මානුෂීය ආධාරවල වත්මන් තත්ත්වය නේවාසික සම්බන්ධීකාරක විසින් පැහැදිලි කරන ලදී. ඊට අදාළව ක්‍රියාත්මක වන අනෙකුත් ආධාර වැඩසටහන්වලට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය  ශ්‍රී ලංකාවට ලබා දෙන හදිසි ආධාරවලට මහ කන්නය සඳහා ලබා දෙන යූරියා මෙන්ම ඖෂධ, බීජ සහ පාසල් දරුවන්ගේ පෝෂණය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක්  ඇතුළත් වන බවද එතුමිය ප්‍රකාශ කළා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව විස්තර කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, මේ වන විට රජය නව අයවැයක් සකස් කරමින් සිටින බව ප්‍රකාශ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close