වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සිය සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහතික කරයි

 වත්මන් ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සිය සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහතික කරයි

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉස්මතුව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳ ගැටළු, ආහාර සුරක්‍ෂිතතාව සහ ජීවනෝපාය ආශ්‍රිත කරුණු වැනි බහුවිධ බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 මැයි 23 වැනි දින කොළඹ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හම්ඩි මහත්මිය හමුවිය.

ඉදිරි කාලවලදී ඇතිවිය හැකි දුෂ්කරතා පිළිබඳව රජය තුළ අවබෝධයක් ඇති බවත්, එහි බලපෑම අවම කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවැත්වෙන සාකච්ඡා ඇතුළුව රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ ය.

සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා, ප්‍රධාන රාජ්‍ය ආයතන මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පරිත්‍යාගශීලී රටවල සහභාගීත්වයෙන් පිහිටුවිය හැකි මධ්‍යම යාන්ත්‍රණයක් පිළිබඳව මේ වන විට සලකා බලන බවද අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රකාශ කළේ ය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට පිළියම් යෙදීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡා තුළින් හඳුනාගත්  කෘෂිකාර්මික අංශය ආශ්‍රිත ගැටළු පිළිබඳව ද එතුමා පැහැදිලි කළේ ය.

අත්‍යවශ්‍ය සැපයුම් ආශ්‍රිත හිඟය සඳහා පිළියම් යෙදීම මෙන්ම විරැකියාව සහ මන්දපෝෂණය වැනි අර්බුද හේතුවෙන් ඉස්මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්  ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හම්ඩි මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවේ සහතික විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් බහුආංශික ඉල්ලීමක් යොමු කරන බවද එතුමිය  මෙහිදී සඳහන් කළා ය. මෙම කරුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුම්වත් කිරීම සහ තමන් සමඟ සම්බන්ධ වීම පිළිබඳව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළ හම්ඩි මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව සහයෝගීව කටයුතු කරන බවට සහතික විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close