ලෙබනනයෙහි චන්දනාලේප ආයුර්වේද නිෂ්පාදන දියත් කිරීම

ලෙබනනයෙහි චන්දනාලේප ආයුර්වේද නිෂ්පාදන දියත් කිරීම

ශ්‍රී ලංකා - ලෙබනන් ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, 2020 දෙසැම්බර් 19 දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගම සමඟ එක්ව, චන්දනාලේප නිෂ්පාදන පෙළ ලෙබනනයේ බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ (CCIBML) රෆික් හරිරි ශාලාවේ දී දියත් කළේය.

කොවිඩ්-19 වසංගතයේ අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම් සමඟ සමපාත වෙමින්, තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිනියගේ මඟ පෙන්වීම යටතේ, චන්දනාලේප සඳහා පත් කරන ලද එකම නියෝජිතයින් වන ලෙබනනයේ සිල්වා නෝමේනියන් මහත්මිය සහ ටී. මල්කාන්ති සිල්වා මහත්මිය සමඟ චන්දනාලේප ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන ලෙබනනයට ආනයනය කිරීම ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැරූ ප්‍රයත්නය ඵල දැරීය.

ලෙබනනයේ හයාත් අර්ස්ලාන් කුමරිය, කීර්තිමත් ආරාධිතයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු බොහෝ සම්භාවනීය පුද්ගලයින් මෙම දියත් කිරීම සඳහා සහභාගී වූහ. සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ පරිණාමය පිළිබඳ වීඩියෝවක් ද මෙහි දී ප්‍රදර්ශනය කරන ලදී.

තානාපති ශානි කරුණාරත්න මැතිනිය සිය කතාවේ දී, ස්වාභාවික රූපලාවන්‍ය නිපැයුම්වල ජීව ගුණය විශේෂයෙන් රූපලාවණ්‍ය පිළිබඳ දැනුවත් ලෙබනන් වෙළඳපොළ වෙත විදහා දැක්වූවාය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත යහපත් සෞඛ්‍යයක් ප්‍රවර්ධනය කරන විවිධාකාර නිෂ්පාදන පිළිබඳව ද ඇය අවධාරණය කළාය.

සංජීවක ආයුර්වේද නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පිලිප් නේරි මුල්ලෙගම මහතා සිය පටිගත කරන ලද දර්ශනයේදී, සභාපති රංජිත් ප්‍රේමතිලක මහතාගේ අඛණ්ඩ උත්සාහය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කථා කළ අතර, චන්දනාලේප නිෂ්පාදනවල අද්විතීය ගුණාත්මකභාවය සහ ලෙබනනයේ පුද්ගලික සත්කාර වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා තානාපති කාර්යාලය සහ ලෙබනන්හි ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් දක්වන කැමැත්ත ඉස්මතු කළේය. සමාජයේ ප්‍රමුඛ සාමාජිකාවක් සහ රූපලාවණ්‍ය කටයුතුවල ප්‍රමිතීන් පිළිබඳ ප්‍රවීණයෙකු වන ජොහානා ගාලි මහත්මිය ශ්‍රී ලාංකික ආයුර්වේද නිෂ්පාදන සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළාය.

පළමු නිෂ්පාදන තොගය තානාපති කරුණාරත්න මැතිනිය විසින් සිල්වා නෝමේනියන් මහත්මිය සහ ටී. මල්කාන්ති සිල්වා මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, කේක් කැපීමේ අංගයක් ද පැවැත්විණි. මෙම දියත් කිරීමේ උත්සවය තානාපති කාර්යාලයේ ෆේස්බුක් පිටුව මඟින් සජීවීව ප්‍රදර්ශනය කරන ලදී.

පළමු ලේකම් / දූත මණ්ඩල ප්‍රධානී චතුරි පෙරේරා මහත්මිය, දෙවැනි ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා සහ තානාපති කාර්යාලයේ සියලුම කාර්යය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බේරූට්

 

2020 දෙසැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close