ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් දීපවාලි උත්සවය සමරයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් දීපවාලි උත්සවය සමරයි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් පවත්වනු ලබන වාර්ෂික දීපවාලි සැමරුම් උත්සවය බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව, මන්ත්‍රීවරුන්, එක්සත් රාජධානියේ රාජ්‍ය නියෝජිතයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2021 නොවැම්බර් මස 19වන දින මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.

වොට්ෆෝර්ඩ් හි වෙල් මුරුගන් කෝවිලේ පූජකවරයා වන සිව ශ්‍රී එලඩ්චුමි ත්‍යාගරාජා කුරුක්කල්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබූ හින්දු ආගමික වතාවත්වලින් මෙම උත්සවය ආරම්භ වූ අතර මෙම අවස්ථාවට සහභාගි වූ පිරිසට මෙන්ම ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරනු ලැබී ය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පොදුරාජ්‍ය මණ්ඩලය බිලියන 2.6 ක ජනතාවකින් සමන්විත බවත්, ඉන් 60%ක පිරිසක් වයස අවුරුදු 30 ට අඩු අය බැවින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සිය සංගීතය හා සංස්කෘතිය ඔස්සේ සහභාගිවූවන් පිනවමින් මෙසේ විනෝද වීම සතුටට කරුණක් බවත් ප්‍රකාශ කළා ය.

වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කාර්යාලයේ දකුණු ආසියා, එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩල අමාත්‍ය විම්බල්ඩන් හි තාරික් අහමඩ් සාමිවරයා විසින් මෙම අවස්ථාව වෙනුවෙන් සිය ශුභාශිංසන පළ කරනු ලැබී ය. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අතිවිශිෂ්ට දායකත්වය එතුමා අගය කළේය.

රැස්ව සිටි පිරිස ඇමතූ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් අන්ධකාරය පරදා ආලෝකයේ ආත්මීය ජයග්‍රහණය සංකේතවත් කරන ආලෝකයේ උත්සවය වන දීපවාලි උත්සවයේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා ය. දීපවාලි උත්සවය මඟින් අන්ධකාරය තුරන් වනවා සේ ම, ලෝකය වසංගතයේ අන්ධකාරයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදෙන බවත්, භෞතික වශයෙන් සැමරුම්වලට සහභාගී වීමට මේ වන විට හැකි වී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.  මෙම සැමරුම් උත්සවයට සහභාගී වූ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ කලාත්මක විචිත්‍රත්වය නැරඹීමට හැකිවීම සතුටට කරුණක් බව ද ඇය පැවසුවාය.

එක්සත් රාජධානියේ පිහිටුවා ඇති කලාසාගර කලායතනයේ අධ්‍යක්ෂිකා ඌෂා රාඝවන් මහත්මියගේ සිසු සිසුවියන්ගේ මනරම් භරතනාට්‍ය ප්‍රසංග සහ ශිවතාරිනී සහදේවන් සහ ශ්‍රී එම් බාලචන්දර් යන කලා ආචාර්යවරුන්ගේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද වීණා සහ මෘදංගම් සංගීත සංදර්ශනයක් මෙම උත්සව අවස්ථාවට ඇතුළත් විය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ දරුදැරියන් සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකීය ප්‍රජාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ භජන් ගායනය සඳහා මෙම උත්සව අවස්ථාවට සහභාගීවූවන් ද එක් විය.

මෙම නිල වැඩසටහන අවසානයේ දී සහභාගී වූවන් හට එක්සත් රාජධානියේ ලීෆ් හෝටල් සමූහය විසින් අනුග්‍රහය දක්වන ලද උතුරු ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ආහාරපාන ඇතුළත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබිණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2021 නොවැම්බර් 26 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close