රුසියානු - යුක්රේන  ගැටුමට මැදිවී  සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය සබ්රි රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා හමුවෙයි

රුසියානු – යුක්රේන  ගැටුමට මැදිවී  සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය සබ්රි රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගරියන් යන මහත්වරුන් අතර රුසියානු - යුක්රේන ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණපා ඇති හදිසි තත්ත්වය පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් 2024 මැයි 29 වැනි දින පැවැත්විණි. මෙම හමුව,  2024 මැයි 07 වැනි දින අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස සිදු විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියානු සමූහාණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුව වෙත පිටත් කරවාහැරීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයාට මෙහිදී දන්වා සිටියේය. ශ්‍රී ලංකා දූත පිරිස සඳහා අදාළ රැස්වීම් සූදානම් කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපති ෂගරියන් මහතා වෙත දැනුම් දුන්නේය. ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශ්වය දක්වන අවධානය සැලකිල්ලට ගත් රුසියානු තානාපතිවරයා සංචාරය අතරතුරදී නියෝජිත පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු ප්‍රයත්න දරන බවට අමාත්‍යවරයාට සහතික විය.

ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන තානාපති පී.එම්.අම්සා මහතා මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  අතරතුර තානාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ භාරගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා වෙත දැනුම් දුන්නේය.

පවතින හදිසි තත්ත්වය සැලැකිල්ලට ගනිමින්, මෙම ගැටලුව විසැඳීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට තානාපති ෂගරියන් මහතා සිය සහය පළ කළේය. රුසියාව බලා පිටත්ව ගිය බොහෝ දෙනා සංචාරක වීසා මත ගමන් කර ඇති බව නිරීක්ෂණය වන බැවින් කඩිනම් පියවරක් ලෙස රුසියාව මින් ඉදිරියට විශ්‍රාමික හමුදා සෙබළුන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට පෙර වඩාත් සවිස්තරාත්මක වීසා සම්මුඛ පරීක්ෂණ සිදු කරන බව තානාපති ෂගරියන් මහතා මෙහිදී දන්වා සිටියේය. මිනිස් ජාවාරම්කරුවන්ට ගොදුරු නොවන ලෙසත් රැකියා සොයා ගැනීම සඳහා නීතිවිරෝධී මාර්ග අනුගමනය කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන් මහජනතාව වෙත සිදුකර ඇති නිරන්තර සිහිකැඳවීම්ද අමාත්‍ය සබ්රි මහතා යළි අවධාරණය කළේය.

රුසියානු තානාපතිවරයා සමඟ පැවැති රැස්වීමට පෙරාතුව, විදේශ කටයුතු අමාත්‍යවරයා 2024 මැයි 28 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන් සමඟ රුසියානු - යුක්රේන ගැටුමට සටන්කාමීන් ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සාකච්ඡාවක්ද පැවැත්වූ අතර එහිදී එම ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය සහ ඔවුන් ආරක්ෂිතව ආපසු සියරට ගෙන්වාගැනීමට සඳහා රජය දක්වන කැපවීම ප්‍රකාශ කළේය.

මීට සමගාමීව, යුක්රේන හමුදා සේවයේ යොදවා ඇතැයි කියන ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහය, ඔවුන් මුදා හැරීම සහ ආරක්ෂිතව ආපසු සියරට ගෙන්වාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය යුක්රේන බලධාරීන් සමඟ සම්බන්ධ වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close