රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුක්රේන ව්‍යාපාර ප්‍රජාව අතර අථත්‍ය ව්‍යාපාරාන්තර ගැළපුම් සැසිය අරඹයි

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුක්රේන ව්‍යාපාර ප්‍රජාව අතර අථත්‍ය ව්‍යාපාරාන්තර ගැළපුම් සැසිය අරඹයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා විසින් ශ්‍රී ලංකා සහ යුක්රේන වාණිජ මණ්ඩල දෙකෙහි සාමාජිකයින් අතර ව්‍යාපාර ජාලකරණ සහ ව්‍යාපාරාන්තර ගැළපුම් සැසියක් 2022 ජනවාරි මස 20 වන දින ආරම්භ කරන ලදී. මෙය පසුගිය වසරේ රාජ්‍ය අමාත්‍යවරයාගේ යුක්රේන සංචාරයෙන් අනතුරුව පවත්වන පසු විපරම් වැඩසටහනකි.

වැඩසටහනට සම්බන්ධ වූ පිරිස අමතමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සංචාරක, කෘෂිකාර්මික නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ අංශය, පර්යේෂණ සහ සංවර්ධන ආශ්‍රිත ආයෝජන සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙක අතර වන සහයෝගිතාවයේ ශක්‍යතාව සහ ප්‍රවේශයන් තවදුරටත් ගවේෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. තවද ශ්‍රී ලංකාව අසල්වැසි හවුල්කාර රටවල් සමඟ ඇති කර ගත් නිදහස් සහ වරණීය වෙළඳ ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට පිරිනමන ලද සහන භාවිත කරමින් යුක්රේන සමාගම්වලට කලාපයේ පවතින දැවැන්ත වෙළඳපල අවස්ථා වෙත ළඟා විය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යුක්රේන වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජෙනඩි චිෂිකොව් මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි මහතා ද මෙම සැසිවාරය ඇමතූ අතර, වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි මෙතෙක් භාවිතයට නොගත් විභවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා දෙරටේ සාමාජිකත්වයන් අතර නිරන්තර අන්තර්ක්‍රියා පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ.

ශ්‍රී ලංකා සහ යුක්‍රේන සමාගම් සියයක් මෙම ව්‍යාපාරාන්තර ගැළපුම් සැසිය සඳහා සහභාගී වූ අතර කෘෂිකාර්මික නිෂ්පාදන, සංචාරක සහ ආගන්තුක සත්කාර අංශය සහ කාර්මික නිෂ්පාදන අංශය වශයෙන් ක්ෂේත්‍ර තුනක් යටතේ එම සමාගම් කාණ්ඩ කර තිබිණි.

යුක්රේනය සඳහා අක්ත ගන්වන ලද තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන්,  ශ්‍රී ලංකාව සඳහා අක්ත ගන්වන ලද ඉන්දියාවේ යුක්රේන තානාපතිනී ඊගෝර් පොලිඛා සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ යන මහත්ම මහත්මීන් ද මෙම අතථ්‍ය වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 ජනවාරි 27වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close