රටේ පොදු අරමුණු  සමඟ කටයුතු කිරීමට FAO  සංවිධානය එකඟ වෙයි

රටේ පොදු අරමුණු  සමඟ කටයුතු කිරීමට FAO  සංවිධානය එකඟ වෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) රටේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා 2021 ජුනි 28 වැනි අද දින විදේශ   අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත ශරන් මහතා සාදරයෙන් පිළිගනිමින්, ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින්  ශ්‍රී ලංකාව වෙත ලබාදෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ස්තුතිය පුද කළේය. කෘෂිකර්මාන්තය, ධීවර කටයුතු, පශු සම්පත් වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම, වන වගාව හා ජෛව විවිධත්වය සංරක්ෂණය හා පුනරුත්ථාපනය කිරීම සම්බන්ධ විවිධ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විසින් ලබා දෙනු ලබන වටිනා දායකත්වය එතුමා විශේෂයෙන් අගය කළේය.

කාබනික පොහොර පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව විස්තර කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, ඔරොත්තු දෙනසුළු සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් වෙත මාරුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම පිණිස ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය ඉල්ලා සිටියේය.

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතවරයා, ශ්‍රී ලංකාව තුළ FAO සංවිධානය පිහිටුවා ගත් දින සිට FAO සංවිධානයේ ශ්‍රී ලංකාව සමඟ ඵලදායී සබඳතා සිහිපත් කළේය. තිරසාර ආහාර සහ පෝෂණ සුරක්‍ෂිතතාවය පිළිබඳ රටේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට FAO සංවිධානය ඉතා උනන්දු වන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය සහ FAO සංවිධානය අතර පවතින විශිෂ්ට සහයෝගීතාව පිළිබඳව මෙන්ම, ඉදිරි වසරවල දී නව FAO නියෝජිතවරයා යටතේ එය තවදුරටත් ශක්තිමත්  වනු ඇතැයි අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විශ්වාසය පළ කළේය.

 විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close