යුරෝපා සංගම් - ශ්‍රී ලංකා සහයෝගිතාවට අදාළ කාරණාවල ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සපැමිණි යුරෝපා සංගමයේ දූත කණ්ඩායම යාවත්කාලීන කරයි

යුරෝපා සංගම් – ශ්‍රී ලංකා සහයෝගිතාවට අදාළ කාරණාවල ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සපැමිණි යුරෝපා සංගමයේ දූත කණ්ඩායම යාවත්කාලීන කරයි

2021 ඔක්තෝබර් 1 වැනි සිකුරාදා යුරෝපා සංගමයේ පස් දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය (EU) අතර සිදුකෙරෙන සාධනීය, සුහද හා විධිමත් මැදිහත් වීම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පිළිගැනීමට ලක්කළේය. ශ්‍රී ලංකාව වෙත මෙම යුරෝපා සංගම් දූත ගමන මෙහෙයවනු ලැබුවේ යුරෝපා කොමිසමේ වෙළෙඳ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ උපදේශක, නිකොලොස් සයිමිස් මහතා සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවාවේ (EEAS) දකුණු ආසියා අංශයේ ප්‍රධානී අයෝනිස් ජියොකාරාකිස්-ආගිරොපවුලස් මහතා විසිනි. යුරෝපා සංගම් - ශ්‍රී ලංකා සහයෝගිතාව සහ අදාළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ කටයුතු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම, සිවිල් සමාජය සමඟ කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක 16 මුලපිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළේය.

ආර්ථික හා සංවර්ධන සහයෝගිතා ක්ෂේත්‍ර ඇතුළුව, යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ පවතින සබඳතා පුළුල් හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය (2020 දී) යුරෝපා සංගමය වන බැවින්, රටේ ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමේ යුරෝපා සංගම් ජීඑස්පී+ ප්‍රතිලාභවල ධනාත්මක දායකත්වය පිළිබඳව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ බැඳීම් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම පිළිගත් අතර, අඛණ්ඩව සහයෝගිතාව ලබා දෙන බවට සහතික විය.

මෙම සංචාරය අතරතුර දී, යුරෝපා සංගම් නියෝජිත පිරිස යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා ක්‍රියාවලිය සහ යුරෝපා සංගම් ජීඑස්පී+ සමාලෝචන ක්‍රියාවලිය (2020/2021) තුන්වැනි වටයට අදාළ රැස්වීම්වලට සහභාගී වූහ. මෙම රැස්වීම් සඳහා රජයේ නියෝජිතයින් 30 කට අධික සංඛ්‍යාවකින් සමන්විත පුළුල් පරාසයක පාර්ශ්වකරුවන් සහභාගී විය.

යුරෝපා කොමිසමේ සහ EEAS හි උසස් නිලධාරීන්ගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වූ අතර, මෙම සංචාරය ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ අඛණ්ඩව හා නිරන්තරව කටයුතු කිරීමේ කොටසක් විය. මෙම සංචාරයේදී මෙම දූත කණ්ඩායම රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් ද හමුවිය. යුරෝපා හවුලේ නියෝජිතයින්ගේ කොළඹ තානාපති ඩෙනිස් චයිබි මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙම රැස්වීම සඳහා සහභාගී වූහ..

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝබර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close