මොසැම්බික් හි තිරසාර බලශක්ති අංශය තුළ පවත්නා අවස්ථා පිළිබඳව පැවැත්වූ තාක්ෂණික මට්ටමේ රැස්වීම අවසන් කෙරේ

මොසැම්බික් හි තිරසාර බලශක්ති අංශය තුළ පවත්නා අවස්ථා පිළිබඳව පැවැත්වූ තාක්ෂණික මට්ටමේ රැස්වීම අවසන් කෙරේ

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මොසැම්බික් වාණිජ මණ්ඩලය සමඟ එක්ව, FUNAE (Fundo de Energia හෙවත් බලශක්ති අරමුදල) සහ මොසැම්බික් හි ඛනිජ සම්පත් සහ බලශක්ති අමාත්‍යාංශයේ කළමනාකාරීත්වය සහ විශේෂඥයන් මෙන්ම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති (ජල බල, සූර්ය සහ සුළං) සැපයුම් සංවිධානවල විශේෂඥයන් අතර තාක්ෂණික මට්ටමේ රැස්වීමක් 2022 ජූලි 08 වැනි දින සංවිධානය කළේය. මෙම රැස්වීම 2022 මැයි 10 වැනි දින මොසැම්බික් රාජ්‍යය සහ ශ්‍රී ලංකාවේ සංවිධාන අතර පැවැත්වූ පළමු කළමනාකරණ මට්ටමේ රැස්වීමෙන් අනතුරුව පැවැත්වූ රැස්වීමකි.

මෙහිදී සිය අදහස් පළ කළ ඛනිජ සම්පත් හා බලශක්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ මාර්සෙලීනා මැටවෙයියා මහත්මිය, 2022 වර්ෂයේ දී මොසැම්බික් හිදී සම්මත කරන ලද නව විදුලි නීතිය පිළිබඳව විස්තර කළ අතර, පුනර්ජනනීය බලශක්තිය සහ ජාලගත නොවන බලශක්ති සැපයුම සඳහා වන පුද්ගලික අංශයේ ප්‍රවේශය කෙරෙහි යොමු කරන අවධානය පිළිබඳව නැවත වරක් පැහැදිලි කළා ය. මේ සඳහා අවශ්‍ය වන නෛතික ලේඛන කෙටුම්පත් කරමින් පවතින බව සඳහන් කළ එතුමිය, 'මොසැම්බික් හි තිරසාර බලශක්ති ව්‍යාපෘති අවස්ථා' පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළාය. එමගින් 2020-2024 සැලැස්ම විදහා දක්වන ලදි. එම සැලැස්මට අනුව, මෙගාවොට් 600ක බලයක් නිපදවන අතර එයින් මෙගාවොට් 200ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් වේ. විශ්වීය ප්‍රවේශය සඳහා වන ජාතික ඉලක්කය, ජාලගත පද්ධති ගත් කල 60% ක් වන අතර‍, එය ජාලගත නොවන පද්ධති තුළ 30% ක් වේ.

කුඩා පරිමාණයේ ජලවිදුලි සංගමයේ සභාපති තුසිත පීරිස්, සුළං බලශක්ති සංගමයේ ලේකම් මංජුල පෙරේරා, සූර්ය බලශක්ති සංගමයේ ලසිත් විමලසේන සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල යන මහත්වරු මෙහිදී ඉදිරිපත් කිරීම් සිදු කළහ. මෙම ඉදිරිපත් කිරීම් තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජල, සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති, අනෙකුත් අප්‍රිකානු රටවල (මලාවි, උගන්ඩාව, සැම්බියාව, සිම්බාබ්වේ, රුවන්ඩාව සහ කෙන්යාව) පිහිටුවා ඇති ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ පහසුකම්වල සහ ට්‍රාන්ස්ෆෝමර් ඉදිකිරීම් ක්ෂේත්‍රවල සහය ලබාගැනීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදි. මෙහිදී මොසැම්බික් රාජ්‍යය වෙත ඉංජිනේරු විශේෂඥතාව සහ තාක්ෂණික දැනුම සැපයීමේ හැකියාව සතු ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සැපයුම් සමාගම් මොසැම්බික් පාර්ශ්වය නියෝජනය කළ සහභාගිවන්නන් වෙත හඳුන්වා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ සමාගම් මොසැම්බික් ජාතික බලශක්ති සැලැස්ම පිළිබඳ තොරතුරු; සම්පත් සිතියම්; බලශක්ති බෙදාහැරීමේ ජාලය; ලබා ගත හැකි දේශීය සහ බාහිර මූල්‍ය පහසුකම්, ඉඩම් ලබා ගැනීමේ හැකියාව සහ වෙන් කිරීමේ ප්‍රතිපත්ති, බහු අනුමැතිය ලබාගැනීම සඳහා පවත්නා එක්-නැවතුම් ආකාරයේ සම්බන්ධීකරණයක් තිබීම; වෙනත් ව්‍යාපාර හිතකාමී පියවර; එක්සත් ජනපද ඩොලරයට සම්බන්ධ තීරුබදු ව්‍යුහයන්; සහ ද්විත්ව බදු සහන යන කරුණු පිළිබඳ තොරතුරු ඉල්ලාසිටිය හ. ඛනිජ සම්පත් හා බලශක්ති අමාත්‍යාංශය සහ FUNAE ආයතනයේ විශේෂඥ කණ්ඩායම මීට පිළිතුරු ලබා දුන් අතර, විස්තරාත්මක සම්පත් සිතියම්, ජාල සිතියම් සහ වැඩිදුර තොරතුරු සැපයිය හැකි වෙනත් රාජ්‍ය ආයතන සමඟසම්බන්ධ විය හැකි තොරතුරු යනාදිය සපයා දුන්හ.

මොසැම්බික් හි ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන හමුවීම සඳහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සමාගම්වලට මොසැම්බික් රාජ්‍යයේ සංචාරය කිරීම සඳහා පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම යොමු කළ ඉල්ලීමට මොසැම්බික් පාර්ශ්වය සිය එකඟත්වය පළ කළේ ය. අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉඳුමිණි කොඩිකාර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ කුමුදුනී ඉරුගල්බණ්ඩාර, තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ දෙවැනි ලේකම් සංජීව බණ්ඩාර සහ මොසැම්බික් වාණිජ මණ්ඩලයේ සාමාජික හිපොලිටෝ හැමෙලා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීම් මාලාව සංවිධානය කිරීම සඳහා දැරූ ප්‍රයත්නය වෙනුවෙන් ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මැතිතුමා සිය ස්තුතිය පුද කළේ ය. තවද, මොසැම්බික් හි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික සමාගම්වලට සහභාගී වීමට අවස්ථාව සලසන ප්‍රධාන තාක්ෂණික ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා ඉවහල් වූ වෘත්තීය මට්ටමේ ඉදිරිපත් කිරීම් ද සමඟින් මෙම අවස්ථාවට සහභාගී වූ ඛනිජ සම්පත් හා බලශක්ති අමාත්‍යාංශයේ, FUNAI හි සහ ශ්‍රී ලංකාවේ විශේෂඥයන් වෙතද එතුමා සිය කෘතඥතාව පළ කළේ ය. මොසැම්බික් හි ඛනිජ සම්පත් හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කුඩා පරිමාණයේ ජලවිදුලි සංගමය, ශ්‍රී ලංකා සුළං බල සංගමය සහ ශ්‍රී ලංකා සූර්ය බලශක්ති සංගමය විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝ ඉදිරිපත් කිරීම් trade.pretoria@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඉල්ලීමක් යොමු කිරීම මගින් ලබා ගත හැකි ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2022 ජූලි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close