මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නව මෘදුකාංග යෙදුමක් හරහා අවස්ථාව සැලසේ

 මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නව මෘදුකාංග යෙදුමක් හරහා අවස්ථාව සැලසේ

ඕස්ට්‍රේලියාවේ පිහිටි වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්තවල සිටින ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීම සඳහා මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඩිජිටල් කොන්සියුලර් කවුන්ටර කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරන ලදි. වඩාත් ඵලදායී සේවාවක් සලසන අතරතුර, වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් රජය සතු ප්‍රතිපත්තියට අනුකූලව කොන්සල් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් වියදම් අවම කිරීම සඳහා මෙම “යෙදුම” දියත් කරන ලදි.

මෙල්බර්න් හි කොන්සල් ජනරාල් කාර්යාලයට මසකට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් 150 ක්, උප්පැන්න ලියාපදිංචිය සඳහා අයදුම්පත් 50 ක්, සහතික කිරීම් 100 ක්, ද්විත්ත්ව පුරවැසි අයදුම්පත් 100 ක් පමණ ලැබෙන අතර, කොන්සල් කාර්යාලයේ සේවය කරන සුළු පිරිසකගෙන් යුක්ත කාර්ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදු වේ. මෙම නව පද්ධතිය හරහා අයදුම්කරුවන්ට කාර්යාලයට පැමිණීමට පෙර ඒ සඳහා හමුවක් වෙන් කරගැනීමට හැකි වන අතර, ඔවුන්ගේ අයදුම්පත්‍රවල තත්ත්වය තමන් විසින්ම පරීක්ෂා කර ගැනීමටද හැකියාව ලැබේ. දැඩි පරිශ්‍රමයක් දරමින් අතින් සටහන් කිරීමේ කර්තව්‍ය මේ වන විට බැහැර කොට ඇති බැවින්,  අයදුම්පත් සැකසීම සඳහා ගත වන කාලය කාලය විශාල ලෙස අවම වී ඇත.

මෙම පද්ධතිය ආරම්භ කිරීමත් සමඟම අයදුම්පත් පසුපෙළ සිට සැකසීම සහ සම්ප්‍රේෂණය කිරීම, වාර්තා උත්පාදනය කිරීම සහ අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍රවල ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම යනාදී කටයුතු වේගවත් හා කාර්යක්ෂම වී ඇත. කවුන්ටරය හරහා ඉදිරිපත් කරන අයදුම්පත් පමණක් නොව, තැපෑල මගින් එවන අයදුම්පත් ද මෙම පද්ධතිය හරහා කළමනාකරණය කරනු ලැබේ.

රජයේ නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි අනුගමනය කරමින්, මෙම මෘදුකාංග යෙදුම සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකික මෘදුකාංග සංවර්ධක සමාගමක් වන “ලූන්ස් ලැබ් (පුද්) සමාගම” (Loons Lab (Pvt) Ltd) තෝරා ගන්නා ලදි. එය විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල භාවිතා කරන මෙවැනි ආකාරයේ පළමු යෙදුම බවට පත්ව ඇත. කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මහතාගේ මඟපෙන්වීම යටතේ කොන්සල් ඩයනා පෙරේරා මහත්මිය, මෙම අසීරු ඩිජිටල් පරිවර්තනය සිදු කිරීමට කැපවූ කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම මුලපිරීම ඇරඹුවා ය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2022 ජූනි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close