මැලේසියාවේ බටුපහට්හි දී හි පවත්වන ලද ජංගම කොන්සියුලර් සේවා

මැලේසියාවේ බටුපහට්හි දී හි පවත්වන ලද ජංගම කොන්සියුලර් සේවා

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 නොවැම්බර් 06 වැනි ඉරු දින, මැලේසියාවේ ජොහෝර් හි බටුපහට්හි දී ජංගම කොන්සියුලර් සේවා පැවැත්වී ය.

ක්වාලා ලාම්පූර් නුවර සිට කිලෝමීටර 250ක පමණ දුරින් පිහිටි ජොහෝර් වූ කලී මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් බහුතරයක් සේවය කරන ප්‍රාන්තය යි. ශ්‍රී ලංකා දූත මණ්‌ඩලයේ රැකියා සහ සුබසාධන අංශය විසින් පිරිනමනු ලබන කොන්සියුලර් සහය, මග පෙන්වීම සහ මැදිහත්වීම මෙම ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍ය වේ. එබැවින්, මෙම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා/ අපහසුතා අවම කිරීම සඳහා, මහ කොමසාරිස් කාර්යාලය විසින් ජොහෝර් ප්‍රාන්තයේ බටුපහට් හි පිහිටි සින් ලෝංග් ඇඟළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සිය විදේශ ගමන් බලපත්‍ර සකස් කරගැනීම සඳහා තම අයදුම්පත් ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය (SLBFE) සමඟ තම ලියාපදිංචිය අලුත් කරගැනීම සහ තම ලියකියවිලි සත්‍යාපනය කරගැනීම යනාදිය සඳහා  අවස්ථාව උදාවිය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට වෛද්‍යවරුන්ගෙන් සේවා ලබා ගැනීමේ දී භාෂාව සම්බන්ධ  ගැටලුවලට මුහුණ දෙන බැවින් නිසි ප්‍රතිකාර නොමැතිව බොහෝ දෙනා විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා දූත මණ්ඩලය ජංගම කොන්සියුලර් සේවා සමඟ වෛද්‍ය කඳවුරක් ද සංවිධානය කළේ ය. මැලේසියාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් මෙම ප්‍රයත්නයේ දී දූත මණ්ඩලය සමඟ අත්වැල් බැඳගනිමින් පොදු යහපත උදෙසා සිය සේවය ලබා දුන්නේ ය. මෙම වෛද්‍ය කඳවුර අතිසාර්ථක වූ අතර වෛද්‍ය උපදේශන ලබා දීම මෙන්ම ඖෂධ නොමිලේ සැපයීම හේතුවෙන් බොහෝ දෙනෙක් සිය කෘතඥතාව පළ කළහ.

මෙම ජංගම කොන්සියුලර් සේවා මගින් පිරිනමන ලද පහසුකම්වලින් ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකුට පමණ ප්‍රතිලාභ සැලසිණි. බොහෝ පිරිසක් ක්‍රියාපටිපාටි සහ පුද්ගලික කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත්හ. තවද, ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමාගම් කිහිපයක මානව සම්පත් දෙපාර්තමේන්තුවල නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සහ ආරවුල් ගණනාවක් විසඳාගැනීමට හැකි විය.

තවද, කර්මාන්තශාලාවල හිමිකරුවන් සහ අදාළ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා අතරතුරදී, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂාකාරයෙන් රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථා වෙන් කිරීම පිළිබඳ සහතිකයක් ලබාගැනීමට ද හැකිවිය.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලා ලාම්පූර්

2022 නොවැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close