මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු තිලක් මාරපන මහතා විසින් කරනු ලබන ප්‍රකාශය

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු තිලක් මාරපන මහතා විසින් කරනු ලබන ප්‍රකාශය

Image 001

න්‍යාය පත්‍ර අයිතම 2- ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය සමඟ කෙරෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය යටතේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු තිලක් මාරපන මහතා විසින් කරනු ලබන ප්‍රකාශය: 2019 මාර්තු 20 වැනිදා-ජිනීවා

සංක්ෂිප්ත ප්‍රකාශය

සභාපතිතුමනි,

මහකොමසාරිස්තුමියනි,

නියෝජිතවරුනි,

2017 වසරේ සිට මානව හිමිකම් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාව විසින් අත් කරගෙන ඇති වැදගත් ප්‍රගතිය බෙදාහදා ගැනීම පිණිස මෙම කවුන්සිල සැසිවාරයට සහභාගී වන්නට ලැබීම මට ඉමහත් සතුටක්. මගේ පාර්ලිමේන්තු සගයකු වන ගරු ආචාර්ය සරත් අමුණුගම මහතා, උතුරු පළාතේ ආණ්ඩුකාර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මා සමඟ එක් වනවා.

මහකොමසාරිස්තුමියනි,

සියලු පාර්ශ්වකරුවන් කෙරෙහි රජය අනුගමනය කරන්නා වූ විවෘත, වැඩදායක සහ සහයෝගී ප්‍රවේශය ඔබගේ වාර්තාව පුරා පිළිගැනීම සම්බන්ධයෙන් අප මුලින්ම ඔබට ස්තූතිවන්ත වනවා.

එක් එක් රටෙහි පශ්චාත් යුද ගැටුම් වාතාවරණය එකිනෙකට වෙනස් ය යන්න පිළිබඳව ඔබතුමිය එකඟ වනවා ඇති. වෙනත් අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගැනීමට හැකි වුවත්, සංහිඳියාව කරා යන අපගේම ගමන්මඟ මූලික වශයෙන්ම පාලනය වනු ඇත්තේ රාජ්‍යයේ බැඳීම්වල උත්තරීතරභාවය තහවුරු කරන, අප කටයුතු කරන දේශීය සන්දර්භය මඟිනුයි.

  • සත්‍ය සෙවීමේ කටයුත්ත ගත් විට, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නීතියෙන් ස්ථාපනය කොට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. ඊට අවශ්‍ය සම්පත් වෙන්කොට දී තිබෙනවා. සත්‍ය හා සංහිඳිහා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා වූ නීති කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනට සලකා බැලෙමින් පවතිනවා.
  • යුක්තිය සම්බන්ධයෙන් ගත් කල,  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති නඩු යළි සමාලෝචනය කිරීමද එම නඩු කඩිනම් කිරීමද කර තිබෙන අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමීතීන්ට සහ යහ ව්‍යවහාරයන්ට අනුකූලවීම සහතික වමින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.
  • හානිපූරණය පිළිබඳව සලකා බැලීමේදී, හානිපූරණ කාර්යාලයක් නීතියෙන් පිහිටුවා ඇති අතර එයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. දැනටමත් අප්‍රාප්ති සහතිකයක් ලැබූ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500 ක් වෙන් කොට තිබෙනවා.
  • ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා සංහිඳියාවේ න්‍යාය පත්‍රය පූරණය කිරීමට අප තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා.

මහකොමසාරිස්තුමියනි,

2019 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මා ප්‍රකාශ කළ පරිදි,  මුදා හරිනු ලැබ ඇත්තේ 2009 දී ආරක්ෂක හමුදා විසින් රඳවාගෙන සිටි ඉඩම්වලින් 75% ක් පමණකැයි යන බවට මහකොමසාරිස්වරියගේ වාර්තාවේ 35 වැනි ඡේදයේ සඳහන් වී ඇති දත්ත සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වෙනස් බව අවධාරණය කිරීමට මා කැමැතියි. 2019 මාර්තු මාසය වන විට රජයේ ඉඩම්වලින් 88.87% ක් සහ පෞද්ගලික ඉඩම්වලින් 92.16%ක් මුදා හැර තිබෙනවා.

මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ 23 වැනි ඡේදයේ සඳහන් මන්නාරමේ “සමූහ මිනීවළවල්” සම්බන්ධයෙන් ගත් කල, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත් පරීක්ෂණ ප්‍රතිඵලවලින් එකී ඇටසැකිළි ශ්‍රී ලංකාව විශාල වශයෙන් යුරෝපීය යටත්විජිත පාලනයට නතු  වූ ක්‍රි.ව. 1499-1719 යන කාල වකවානුවට අයත් වූ වග හෙළි වී තිබුණද, “වෙනත් සමූහ මිනීවළවල් අනාගතයේදී හමුවීම අපේක්ෂා කළ හැකි” යැයි වාර්තාව පූර්වකල්පනය කරනවා. මෙවැනි වැදගත් හා බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ වාර්තාවක මේ ආකාරයේ උපකල්පනයක් කිරීම පිළිගත නොහැකිවාක් මෙන්ම මේ වාර්තාවේ සඳහන් සෙසු ප්‍රකාශ සම්බන්ධයෙන්ද ඉන් සැකයක් ඇති වීමට පවා ඉඩ තිබෙනවා.

‘දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමෙහිලා ඇවැසි නීති සම්මත කරගන්නා’ ලෙස ඉල්ලා සිටින මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ (A/HRC/40/23) 68 (සී) ඡේදය සම්බන්ධයෙන් කතා කිරීමේදී, මෙම කරුණ පිළිබඳව අපගේ ස්ථාවරය පහත සඳහන් ආකාරයෙන් පැහැදිලි කරන්නට මා කැමැතියි.

සිය අධිකරණමය ක්‍රියා පරිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා රජය ඉහළම දේශපාලන මට්ටම්වලින් ප්‍රසිද්ධියේත්, වර්තමාන සහ හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරුන් සහ සෙසු සංවාදකයන් සමඟ පැවැති සාකච්ඡාවලදීත් පැහැදිලි කරදී තිබෙනවා.  ඉදින් පුරවැසියන් නොවන විනිශ්චයකාරවරුන් එවැනි ක්‍රියා පරිපාටියකට පත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ජනමතවිචාරණයකදී ජනතාවගෙන් ලැබෙන අනුමතියෙන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව  කිරීමට නොහැකි බව පැහැදිලි කොට දී තිබෙනවා.

අපට ඇති සීමිත කාල වේලාව සැලකිල්ලට ගනිමින්, මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ අඩංගු අදාළ ඡේද සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලෙස ප්‍රතිචාර දක්වන මගේ සම්පූර්ණ ප්‍රකාශය වාර්තාවලට ඇතුළත් කිරීම සඳහා සභාගත කරන්නට මා කැමැතියි.

මහකොමසාරිස්තුමියනි,

දිනෙන් දින ඉහළ යන ත්‍රස්තවාදී ක්‍රියාවලට හා ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණ දී ඇති සමයක,  මා මේ කවුන්සිලයේදී පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයට, ගැටුම අතරතුරදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ගත් පියවර ගනු ලැබූයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කොට තිබූ කණ්ඩායමකට එරෙහිව විනා කිසියම් ජන කොටසකට එරෙහිව නොවෙයි. තවද, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ට එරෙහිව නැඟෙන ඔප්පු වූ චෝදනා 2015 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල විමර්ශන (OISL) වාර්තාවේ හෝ ඊට පසුගාමී කිසිදු නිල ලියැවිල්ලක සඳහන් නොවන බව තරයේ කිව යුතුයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ හෝ නිලධාරියකුට, හිමි අයිතිවාසිකම් ලබා නොදීම අසාධාරණයක්.

මේ ප්‍රකාශ,  කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයද ඇතුළු සෙසු ජාත්‍යන්තර සංවිධාන විසින් යවනු ලැබූ ස්වාධීන තක්සේරුකිරීම්වලට ඍජුවම පරස්පර විරෝධීයි. මේ සම්බන්ධයෙන්, දැඩි ලෙස වාරණය කරනු ලැබූ වාර්තා 2017 ඔක්තෝබර් 12 වැනි දින එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කළා පමණක් නොවෙයි, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් ලියනු ලැබ ප්‍රසිද්ධියට පත් කළ ලියැවිලිවලත්[1] අන්තර්ගත වනවා.

මහකොමසාරිස්තුමියනි,

මෙම පසුබිම තුළ, සම අනුග්‍රාහකයන්ද ඇතුළු රටවල් සාකච්ඡාවලදී මෙම යථාර්ථයන් පිළිගන්නා අතර එම නොගැළපීම් ලිඛිතවද වෙනස් කළ යුතු වනවා.  විශේෂයෙන්ම, 2018 අගභාගයේ ඇතිවූ දේශපාලන සිදුවීම් අතරතුරදී පෙන්වූවාක් මෙන්,  අපගේ අධිකරණ, නිලධාරී තන්ත්‍ර හා ආරක්ෂක ආයතන ස්වාධීනත්වය, ප්‍රත්‍යස්ථිතිය, ශක්තිමත්බව හා අධිෂ්ඨාන සහගතබව ප්‍රදර්ශනය කොට ඇති අවස්ථාවක, ජාත්‍යන්තර යහව්‍යවහාරයන් අන්තර්ගත නවෝත්පාදක හා ක්‍රියාත්මක කළ හැකි දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාදාම සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කළ යුතු අතර ඊට සහයද දැක්විය යුතුයි. මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ සඳහන් කොට ඇති පරිදි ‘වින්දිතයන්ගේ සහ පෘථුල සමාජයේ විශ්වසනීයත්වය දිනා ගන්නා’ ආකාරයකින් මෙම සිදුවීම් අවසානයක් කරා ගෙනයෑමට අපට හැකි වන්නේ එවිට පමණයි.

ඉහත පරාමිතීන් මත පදනම්ව, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හා සෙසු හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩවම කටයුතු කරන බව රජය වෙනුවෙන් මා යළිත් ප්‍රකාශ කරනවා.

ස්තූතියි.

[1]https://hansard.parliament.uk/Lords/2017-10-12/debates/14CAA83D-8895-4182-8C4F-D964E0A5B399/SriLanka;

https://parliament.lk/uploads/documents/paperspresented/report-of-paranagama.pdf

http://margastorehouse.org/The%20Last%20Stages%20of%20the%20war%20in%20Sri%20Lanka.pdf;

..................................................................

(සම්පූර්ණ ප්‍රකාශය)

න්‍යාය පත්‍ර අයිතම 2- ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය සමඟ කෙරෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය යටතේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ගරු තිලක් මාරපන මහතා විසින් කරනු ලබන ප්‍රකාශය: 2019 මාර්තු 20 වැනිදා-ජිනීවා

සභාපතිතුමනි,

මහකොමසාරිස්තුමියනි/නියෝජ්‍ය මහකොමසාරිස්තුමනි,

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයිනි, මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී වන නියෝජිතයිනි,

නෝනාවරුනි, මහත්වරුනි,

2017 වසරේ අවසන් සමාලෝචනය කෙරුණු තැන් පටන් මානව හිමිකම් සම්බන්ධයෙන්           ශ්‍රී ලංකාව විසින් අත් කරගෙන ඇති වැදගත් ප්‍රගතිය බෙදාහදා ගැනීම පිණිස 40 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වන්නට ලැබීම මට ඉමහත් සතුටක්. මගේ පාර්ලිමේන්තු සගයකු වන ගරු ආචාර්ය සරත් අමුණුගම මහතා, උතුරු පළාතේ ආණ්ඩුකාර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙන්ම විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ එක්සත් ජාතීන් සඳහා වූ නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ. අසීස් යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මා සමඟ එක් වනවා.

ආරක්ෂාවේ සහ තිරසර අනාගතයක් පිළිබඳ මූලික සහතිකයක් ජනතාවට ලබා දෙමින්, දුගීබව මුලිනුපුටා දැමීමට ප්‍රයත්න දරමින් සියලු දෙනා හට ආර්ථික ලාභාංශ ලැබෙන බවට වගබලා ගන්නා අතරම, මානව හිමිකම්, යුක්තිය, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය ආදී විශ්වීය වටිනාකම් අන්තර්ගත රටක් පිළිබඳව අපේ රජය තුළ ඇති අභිරුචිය සහ දැක්ම අනුව යමිනුයි      ශ්‍රී ලංකාව මෙම කවුන්සිලයේ සැසිවාර සමඟ සහසම්බන්ධතාවක් පවත්වන්නේ.

මහකොමසාරිස්තුමියනි,

මෙම කවුන්සිලයේ ක්‍රියාදාම සහ යාන්ත්‍රණ මෙන්ම, රට තුළත් ඉන් පිටතත්, සියලු පාර්ශ්වකරුවන් කෙරෙහි ශ්‍රී ලංකා රජය අනුගමනය කරන්නා වූ විවෘත, වැඩදායක සහ සහයෝගී ප්‍රවේශය ඔබගේ වාර්තාව පුරා පිළිගැනීම සම්බන්ධයෙන් අප මුලින්ම ඔබට ස්තූතිවන්ත වනවා. අපගේ අභිප්‍රාය වූයේ සංහිඳියාව ප්‍රාප්ත කරගැනීමෙහිලා අප තුළ ඇති දැඩි කැපවීම පෙන්වනු පිණිස එසේ පූර්ණ වශයෙන් සහසම්බන්ධතාවකින් කටයුතු කිරීමයි. සංහිඳියාවට අඛණ්ඩවම කැපවී සිටින ශ්‍රී ලංකාව එම අරමුණ කරා යන ගමනේ ස්ථිරසාර ප්‍රගතියක් ලබා තිබෙනවා . තවත් දේ අතර, අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දියුණුව , සිවිල් සමාජය සමඟ උපදේශන සාකච්ඡා පැවැත්වීම,  තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ශක්තිමත් රාමුවක් ස්ථාපනය කිරීම, මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම ආදියද ඇතුළු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් අත් කරගෙන ඇති සැලකිය යුතු තරමේ ප්‍රගතිය පිළිබඳව අප මෙම කවුන්සිලයේ පිට පිට පැවැති සැසිවාරවලදී වාර්තා කොට තිබෙනවා.

එක් එක් රටෙහි පශ්චාත් යුද ගැටුම් වාතාවරණය එකිනෙකට වෙනස් ය යන්න පිළිබඳව ඔබතුමිය එකඟ වනවා ඇති. එකම විසැඳුම් පද්ධතියක් ලබා දිය හැකි පශ්චාත් ගැටුම් තත්ත්වයන් දෙකක් නෑ. අන් අයගේ අත්දැකීම්වලින් අපට පාඩම් ඉගෙන ගැනීමට හැකි වුවත්, සංහිඳියාව කරා යන අපගේම ගමන්මඟ මූලික වශයෙන්ම පාලනය වනු ඇත්තේ අප කටයුතු කරන දේශීය සන්දර්භය මඟිනුයි. සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමයක මූලික ශික්ෂාව වන්නේ රාජ්‍යයේ වගකීම් පිළිබඳව ඇති සිද්ධාන්තමය මූලධර්ම කෙරෙහි දක්වන්නා වූ අවධානයයි. සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇත්තේ රාජ්‍යයයි. 2015 දී ශ්‍රී ලංකාව එවැනි ක්‍රියාදාමයකට කැප වූ අතර‍ එතැන් පටන් මේ ස්ථම්භ විෂයෙහි ඉදිරි ගමනක යෙදෙන්නට ප්‍රත්‍යක්ෂ පියවර ගෙන තිබෙනවා.

සත්‍ය සෙවීමේ කටයුත්ත ගත් විට, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් නීතියෙන් ස්ථාපනය කොට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. සත්‍ය හා සංහිඳිහා කොමිසමක් ස්ථාපනය කිරීම සඳහා වූ නීති කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනට සලකා බැලෙමින් පවතිනවා . යුක්තිය සම්බන්ධයෙන් ගත් කල,  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇති නඩු යළි සමාලෝචනය කිරීමද එම නඩු කඩිනම් කිරීමද කර තිබෙන අතර  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමීතීන්ට සහ යහ ව්‍යවහාරයන්ට අනුකූලවීම සහතික වමින් යෝජිත ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. හානිපූරණය පිළිබඳව සලකා බැලීමේදී, 2018 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබූ හානිපූරණ පනත හානිපූරණ කාර්යාලයක් පිහිටුවීමේ නෛතික ප්‍රතිපාදන සපයා දී ඇති අතර එයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. ඒවාට ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීමට, නිර්ණය කිරීමට, හඳුනා ගැනීමට සහ පිළියම් යෙදීමට මෙම ආයතන බලාත්මක කොට තිබෙනවා.  එම ආයතන පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේදී,  ඒවා විසින් කරනු ලබන ව්‍යවස්ථාපිත රාජකාරි  සාධාරණ ක්‍රියා පරිපාටිවලට සහ ස්වභාවික යුක්තියේ රීතින්වලට එකඟ විය යුතුව තිබෙන බව සැලකිල්ලට ගත යුතුයි.  ගැටුම් යළි ඇති නොවීමට වගබලා ගැනීම සඳහා සංහිඳියාවේ න්‍යාය පත්‍රය පූරණය කිරීමට අප තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා.

මේ සියලු යාන්ත්‍රණ සහ ක්‍රියා පරිපාටීන් ස්ථාපනය කොට ඇත්තේ කෙටි කාලයක් තුළයි. මේ කාලසීමාව ඇතුළත, පියවර ක්‍රියාත්මක කරන්නට මත්තෙන් සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලය සහ කාර්ය සාධන බළකාය පුළුල් පරාසයක් පුරා විහිදුණු උපදේශන පැවැත්වූවා.  මෙම යාන්ත්‍රණවල විනිවිදභාවය සහ ඒවායේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ කොටස්කාරීත්වය සහතික කිරීම සඳහා එවැනි උපදේශනාත්මක ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වූයේය යන්න සමඟ මහකොමසාරිස්තුමිය එකඟ වනු ඇති.

මහකොමසාරිස්තුමියනි, 2018 වසරේ අගභාගයේදී හටගත් දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ 10-13 ඡේදවල සඳහන් අන්තර්ගතය විමසා බැලීමේදී, අදාළ කාලසීමාව ඇතුළත, මතුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු විසැඳීමට ශ්‍රී ලංකාවේ අධිකරණය සතු ස්වාධීනබව කෙරෙහි විශ්වාසය ගොඩනංවමින් ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනමින් කටයුතු කළා. තවද, ආරක්ෂක හමුදා සහ පොලීසිය නීතිය සහ සාමය ආරක්ෂා කළ  අතර රජයේ සේවකයන් ආදර්ශවත් ආකාරයකින් කටයුතු කළා.  එය ශ්‍රී ලංකාවේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය සහ ආයතනික ස්ථාවරබව ප්‍රදර්ශනය කළා.

15 වැනි ඡේදය පිළිබඳව සලකා බැලීමේදී, සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ පියවර ඉදිරියට ගෙනයෑම පිණිස දැනටමත් පිහිටුවා ඇති ආයතන නීතියේ ආධිපත්‍යයට නතු වීම අවශ්‍ය වනවා. ඒ වාගේම එවැනි ආයතන විසින් කරනු ලබන කාර්යයන්ගේ ප්‍රතිඵලවලට විය හැකි ඕනෑම අධිකරණමය ක්‍රියාදාමයකට මුහුණ දීමට හැකියාව තිබිය යුතුයි. ඒ අනුව, ආයතන ගොඩනැංවීම පිණිස පියවර  ගෙන ඇති බව වාර්තාවෙන් පිළිගැනීම අගය කරන අතරම, එවැනි ආයතනවල ක්‍රියාකාරීත්වයෙන් අයිතිවාසිකම් හිමි තනි පුද්ගලයන් හට ලැබෙන ප්‍රතිලාභ ස්වභාවික යුක්තියේ මූලධර්ම සමඟ පෑහිය යුතු බව සිහිපත් කළ යුතු වෙනවා.  මක්නිසාද යත් කඩිමුඩියේ ගන්නා තීරණවලින් ස්වභාවික යුක්තියේ මූලධර්ම අනතුරේ හෙලන නිසා.

17 වැනි ඡේදය පිළිබඳව සලකා බැලීමේදී, සම්බන්ධීකරණ ආයතන පිහිටුවීම හැරුණු කොට සෙසු ප්‍රතිඥා සැබැවින්ම ක්‍රියාවට නැංවීමෙහිලා  ශ්‍රී ලංකා රජය ප්‍රමාද වූයේය යන අදහසට පටහැණි ලෙස අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී කළ බවත් පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ හානිපූරණ පනත ප්‍රකාර හානිපූරණ කාර්යාලය පිහිටුවීමට ප්‍රතිපාදන සපයා ඇති බවත් සැලකිල්ලට ගත යුතු වනවා. ඒවාට ලැබෙන පැමිණිලි නීතිය අනුව පරීක්ෂා කිරීමට, නිර්ණය කිරීමට, හඳුනාගැනීමට සහ පිළියම් යෙදීමටත් ඒවා විසින් කරනු ලබන ව්‍යවස්ථාපිත රාජකාරි  සාධාරණ ක්‍රියා පරිපාටිවලට සහ ස්වභාවික යුක්තියේ රීතින්වලට අනුකූලව කිරීමටත් මෙම ආයතන බලාත්මක කොට තිබෙනවා. 2019 අයවැයෙන් හානිපූරණ කාර්යාලයට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කොට දී තිබෙනවා.

19 වැනි ඡේදය පිළිබඳව සලකා බැලීමේදී, 2018 ඔක්තෝබර් මාසයේදී නෛතිකව බලාත්මක කරනු ලැබූ හානිපූරණ පනත යටතේ හානිපූරණ කාර්යාලයට පත් කිරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනකු ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන අතර, අප්‍රාප්ති සහතිකය ලැබූ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වලට මාසික දීමනාවක් ගෙවීම සඳහා 2019 අයවැයෙන් රජය රුපියල් මිලියන 500 ක් වෙන් කොට තිබෙනවා.

වාර්තාවේ 23 වැනි ඡේදයේ ඇති, 2018 මැයි 29 වැනි දින මන්නාරමේදී මිනිස් ඇටසැකිළි සොයාගැනීම සම්බන්ධයෙන් වූ සඳහන වනාහී මේ ආකාරයේ කරුණු කරා ප්‍රවේශ වීමේදී අනුගමනය කළ යුතු ප්‍රවේසම්කාරීබවෙහි  අවශ්‍යතාවට කදිම උදාහරණයක්. පූර්ව වශයෙන් දැරූ මතයට පටහැණිව, එසේ සොයාගත් ඇටසැකිළිවලට ගැටුම හා කිසිදු සම්බන්ධයක් නොමැති බව විද්‍යාත්මක වශයෙන් තහවුරු වුණා. මේ සම්බන්ධයෙන්, අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලයේ පහසුකම් සැපයීම හරහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත් පරීක්ෂණ ප්‍රතිඵලවලින් එකී ඇටසැකිළි ශ්‍රී ලංකාව විශාල වශයෙන් යුරෝපීය යටත්විජිත පාලනයට නතු  වූ ක්‍රි.ව. 1499-1719 යන කාල වකවානුවට අයත් වූ වග හෙළි වී තිබෙන බව සැලකිල්ලට ගැනීම වටිනවා.  එය,  චෝදනා සහ හුදු දත්ත එකතු කිරීම අයුක්තිසහගත අපවාද නැඟීමේ අරමුණෙන් පූර්ව විනිශ්චයට භාජනය නොකළ යුතු බව පැහැදිලි කර පෙන්වන තවත් එක් උදාහරණයක්. ස්ථාපිත නෛතික ක්‍රියා පරිපාටීන්වලට අනුකූලව  කෙරෙන  නිසි විමර්ශන ක්‍රියාදාමයකට එවැනි චෝදනා නිරතුරුවම යටත් කිරීම අවශ්‍ය බවත්, සාවද්‍ය උපකල්පන තහවුරු කිරීමට ඒවා කඩිමුඩියේ යොදා නොගත යුතු බවත් එයින් මනාව පැහැදිලි වෙනවා.

වාර්තාවේ 25 වැනි ඡේදයේ සඳහන් කොට ඇති, “හානිපූරණ කාර්යාලය” පිළිබඳ පනත් කෙටුම්පතෙහි අන්තර්ගතයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන, රජයේ ආයතන අතර කෘත්‍යාත්මක බලය බෙදීයෑම පිළිගන්නා වූ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය සමඟ අනුකූලයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තුව විසින් සලකා බලනු ලැබූ හානිපූරණ නීතියට කරන සංශෝධන සංස්ථාගත කිරීමේ කටයුත්ත වනාහී    ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය යටතේ එකී නීතියේ ව්‍යවස්ථානුකූලබව සහතික කිරීමේ අනිවාර්ය ක්‍රියා පරිපාටියක්. තවද, ඔබගේ නිරීක්ෂණයට පටහැණිව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබෙන සංශෝධන හානිපූරණ කාර්යාලයෙන් සහන ලබා ගත හැකි පුද්ගලයන්ගේ උපයෝගීතාව වඩාත් පුළුල් කරන බව සැලකිල්ලට ගත යුතුයි. මක්නිසාද යත් තනි තනිව හෝ සාමූහිකව හෝ හානිපූරණ කාර්යාලයට ලැබී සලකා බැලීමට හැකි පැමිණිලි තවදුරටත් මානව හිමිකම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය පිළිබඳ චෝදනාවලට පමණක් සීමා නොවන නිසා. ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිටින තනි තනි පුද්ගලයන්ට, කණ්ඩායම්වලට හෝ ජනකොටස්වලට සිදුවූ දීර්ඝ කාලීන සහ බරපතළ හානිවල ස්වභාවයෙන් යුක්ත  හානි ජීවිතයට හෝ සිය පුද්ගලයන්ට හෝ දේපළවලට සිදුවීමෙන් හානිවලට මුහුණ දුන් පුද්ගලයන්ද පනතේ 27 වැනි වගන්තියේ සපයා ඇති නිර්වචනය ප්‍රකාර ඊට අන්තර්ගත වෙනවා.

මහකොමසාරිස්තුමියනි,

දිනෙන් දින ඉහළ යන ත්‍රස්තවාදී ක්‍රියා හා ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණ දී ඇති සමයක,  මා මේ කවුන්සිලයේදී පසුගිය වසරේ ප්‍රකාශ කළ ආකාරයට, ගැටුම අතරතුරදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ගත් පියවර ගනු ලැබූයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කොට තිබූ කණ්ඩායමකට එරෙහිව විනා කිසියම් ජන කොටසකට එරෙහිව නොවෙයි. මෑත ඉතිහාසයේ පළමු වරට සිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරගත් එම ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියා පිළිවෙළ දැන් ලොව පුරා ත්‍රස්තවාදී සංවිධාන අනුගමනය කරනවා. මගේ රටේ පැවැති ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් එකට එක්සත් වුණා. දැන් ත්‍රස්තවාදය පරාජය කොට තිබෙන නිසා අද සියලුම ජනකොටස් සංහිඳියාව වෙනුවෙනුත් ආර්ථික ප්‍රගතිය වෙනුවෙනුත් එකා මෙන් වැඩ කරමින් සිටිනවා.

ඒ අනුව ගත් විට 27 සහ 29 යන ඡේදවල සඳහන් සාපරාධී වගවීම පිළිබඳව සැලකීමේදී,              ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය සහ අධිකරණමය ක්‍රියා පරිපාටියට අනුකූලව රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව වගබලා ගන්නා බව යළිත් ප්‍රකාශ කළ යුතුයි. කෙසේවුවත්, චෝදනාවල ස්වභාවය සහ අපරාධවල සංකීර්ණබව  අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සාමාන්‍ය සාපරාධී යුක්ති පද්ධතියට නොහැකි බවට බොහෝ සාක්ෂි ඇතැයි එකී ඡේදයේ ඇති සඳහන වැරදි වැටහීමක්. ඊට සපුරාම පටහැණිව, සංකීර්ණ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය ප්‍රමාණවත් ලෙස සන්නද්ධ වී සිටිනවා. සඳහන් කෙරී ඇති සිද්ධීන් සම්බන්ධ අපරාධ විමර්ශන, ස්ථාපිත නෛතික ක්‍රියාපරිපාටිවලට අනුකූලව සිදු කිරීමට විමර්ශන නියෝජිතායතනවල අවධානයට ලක් වී තිබෙන අතර, අධිකරණමය ක්‍රියාදාමයක් මඟින් කලින් කලට අධීක්ෂණයට ලක් කෙරෙනවා. ඕනෑම සංකීර්ණ අපරාධ පරීක්ෂණයකට විශාල කාලයක් වැය වෙනවා. ‘වින්දිතයන් සොයගැනීමේ පරිපාටි’ වලට බහුවිධ ක්ෂේත්‍රවල පූර්ණ තක්සේරුවක් අවශ්‍ය වන බවටත් එයට කාලය වැය වන බවටත් වාර්තාවේ 20 වැනි ඡේදයේ කෙරෙන පිළිගැනීම, එකී ප්‍රකාශය තහවුරු කරන දර්ශකයක් වනවා. එය චෝදනාවල ස්වභාවය සහ අපරාධවල සංකීර්ණබව සම්බන්ධයෙන් කටයුතු කිරීමට  ශ්‍රී ලංකාවේ සාපරාධී යුක්ති පද්ධතියට හැකියාවක් නැතැයි පැවසෙන චෝදනාද නිෂේධනය කර දමනවා.

තවද, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ට එරෙහිව නැඟෙන ඔප්පු වූ චෝදනා 2015 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල විමර්ශන (OISL) වාර්තාවේ හෝ ඊට පසුගාමී කිසිදු නිල ලියැවිල්ලක සඳහන් නොවන බව තරයේ කිව යුතුයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ හෝ නිලධාරියකුට, හිමි අයිතිවාසිකම් ලබා නොදීම අසාධාරණයක්.

ගැටුමේ අවසන් අදියරවලදී මියගිය සංඛ්‍යාව මේ යැයි අතිශයෝක්තියට නඟන ලද සංඛ්‍යා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ සහ මෙම කවුන්සිලයේ නිල ලියකියැවිලිවල අනවරත ලෙස මෙන්ම යළියළිත් සඳහන් කෙරී තිබෙනවා. මේ ප්‍රකාශ,  විදේශ තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයද ඇතුළු සෙසු ජාත්‍යන්තර සංවිධාන විසින් යවනු ලැබූ ස්වාධීන තක්සේරුකිරීම්වලට ඍජුවම පරස්පර විරෝධීයි. ගැටුමේ අවසන් අදියරවලදී කොළඹ සිටි එක්සත් රාජධානි ආරක්ෂක පරිවාර නිලධාරීවරයා විසින් යවනු ලැබූ එවැනි පණිවිඩ උපුටා දක්වන, දැඩි ලෙස වාරණය කරනු ලැබූ වාර්තා 2017 ඔක්තෝබර් 12 වැනි දින එක්සත් රාජධානියේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කළා පමණක් නොවෙයි, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් ලියනු ලැබ ප්‍රසිද්ධියට පත් කළ ලියැවිලිවලත්[1] අන්තර්ගත වනවා.

සත්‍යය සොයා ගත යුතු, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු නියෝජිතායතන, ඉහත සඳහන් කළ තොරතුරුවලට වැඩිපුර අවධානයක් යොමු නොකිරීම සැබැවින්ම වැරදි සහගත යැයි  ශ්‍රී ලංකා රජය විශ්වාස කරනවා.

31 වැනි ඡේදය සම්බන්ධයෙන් සලකා බැලීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වනාහී පාර්ලිමේන්තුවේ ක්‍රියා පරිපාටිවලට අනුකූලව අඛණ්ඩව කෙරී ගෙන යන ක්‍රියාදාමයක් බව සැලකිල්ලට ගත යුතුයි. රටේ සෙසු දේශපාලන වෙනස්කම් තිබියදී වුවත් එම ක්‍රියාදාමය බාධාවකින් තොරව ඉදිරියට ගොස් තිබෙනවා . මෙම ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ බහුවිධ මහජනතාවට අදාළ සියලු ගැටලුවලට ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය බවත්, එය ආවශ්‍යයෙන්ම ඉදිරියට ගෙනයන්නේ  සියලු පාර්ශ්වකරුවන්ගේ අභිලාෂයන් හඳුනාගනිමින් බවත් සැලකිල්ලට ගත යුතුයි.

මහකොමසාරිස්තුමියනි,

32 වැනි ඡේදය සලකා බැලීමේදී, ත්‍රස්ත විරෝධී පනතෙහි කෙටුම්පතට බහුවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස්ද, ජාත්‍යන්තර සම්මතවලට සහ යහපත් ව්‍යවහාරයන්ට එම කෙටුම්පත අනුකූල වන බවට වගබලා ගැනීම සඳහා එකී යෝජිත කෙටුම්පත සකස් කිරීමට පූර්ණ වශයෙන් සහභාගී වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලින් තාක්ෂණික සහයෝගයද ලැබුණු බව සැලකිල්ලට ගත යුතුයි.  මේ කර්තව්‍යයේදී, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන්නට සියලුම පාර්ශ්වකරුවන්ට අවස්ථාව ලබා දුන්නා. පාර්ශ්ව කිහිපයක්ම එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඒ අනුව, අභියෝගයට ලක් කෙරුණු ඡේද ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීමට භාජනය වූ අතර ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් මේ වන විට පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කොට තිබෙනවා. එහිදී සිවිල් සමාජය සමඟද ඇතුළුව සුවිශේෂී සාකච්ඡා පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා සිවිල් සමාජයේ ඇතැම් කොටස් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කරන ලෙසටත් ත්‍රස්තවාදය සම්බන්ධ කරුණු පිළිබඳව කටයුතු කිරීම සඳහා තවත් නීති කිසිවක් හඳුන්වාදීම අවශ්‍ය නැති බවටත් අදහස් පළ කොට ඇති බව සැලකිල්ලට ගැනීම සුදුසුයි.  පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කොට ඇති මෙම කරුණු හේතුවෙන් ත්‍රස්ත විරෝධී පනත බලාත්මක කිරීමෙහිලා වන සාකච්ඡාමය ක්‍රියාදාමය තවදුරටත් දීර්ඝ වී තිබෙනවා.

35 වැනි ඡේදය සම්බන්ධයෙන් කතා කිරීමේදී, ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි ඉඩම් මුදා හැරීමෙහිලා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ සැලකිය යුතු තරමේ ප්‍රයත්න කවුන්සිලය විසින් හඳුනා ගැනීම ශ්‍රී ලංකාව අගය කරනවා.

2019 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මා ප්‍රකාශ කළ පරිදි,  මුදා හරිනු ලැබ ඇත්තේ 2009 දී ආරක්ෂක හමුදා විසින් රඳවාගෙන සිටි ඉඩම්වලින් 75% ක් පමණකැයි යන බවට මහකොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් වී ඇති දත්ත සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වෙනස් බව අවධාරණය කිරීමට මා කැමැතියි.

ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71, 172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වැනි දින වන විට අක්කර 63, 257.48 ක් මුදා හැර තිබෙනවා. එය මුලින් අත්පත් කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්.

ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන සිටි පෞද්ගලික ඉඩම් අක්කර 28, 215.29 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වැනි දින වන විට අක්කර 26,005.17 ක් මුදා හැර තිබෙනවා. එහි ප්‍රතිශතය 92.16% ක්.

ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගනු ලැබූ ඉඩම් ක්‍රමික සහ ශීඝ්‍ර ලෙස මුදා හැරීම සඳහා           රජය දී ඇති ඉහළතම ප්‍රමුඛතාව මෙම වැදගත් සංඛ්‍යා ලේඛනවලින් ඉස්මතු වී පෙනෙනවා.

කෙසේවුවත්, ජාතික ආරක්ෂාව යන සන්දර්භයේදී අත්‍යවශ්‍ය සාධකයක් වන ඉතිරි ඉඩම් තවදුරටත් ආරක්ෂක හමුදාව අත්පත් කරගෙන සිටිනු ඇති. එහිදී පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන්දි ලබා දීම සිදු කෙරෙනවා.

ඉඩම් මුදාහැරීම සම්පූර්ණ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබා දුන් ප්‍රතිඥාවත්

2018 ජූනි 05 වැනි දිනැති ගැසට් නිවේදන අංක 2074/11 මඟින් උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවීමත් පසුගිය වසර තුළ සැලකිය යුතු මට්ටමකින් එම ක්‍රියාදාමය කඩිනම් කොට තිබෙන බව මා මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. ඒ පළාත් දෙකෙහි සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට සහ උපදෙස් ලබාදීමට නිරන්තරයෙන් මුණ ගැසෙන මෙම කාර්ය සාධන බළකායේ සාමාජිකයන් ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය මණ්ඩලය, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්, මහ ඇමැතිවරුන්, ප්‍රධාන ලේකම්වරුන්, සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආරක්ෂක, මුදල්, හා විදේශ කටයුතු ලේකම්වරුන් ඇතුළත් වනවා.

‘යටිතල පහසුකම් හිඟය’ පිළිබඳව කතා කිරීමේදී, 2009 සිට 2018 දක්වා කාලය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල නිවාස 66,100 ක් ඉදි කොට සිවිල් වැසියන් වෙත භාරදී තිබෙනවා. “හිමිකරුවා විසින් ඉදිකිරීම් කටයුතු කරන ආකෘතිය” මත පදනම් වූ නිවාස 4750 ක් ඉදිකිරීමේ කටයුතු 2019 දී ආරම්භ වුණා. මෙම වැඩසටහන 2019 ජූනි මාසයේදි සම්පූර්ණ කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනයේ ප්‍රගතිය දැකීමට ගරු අග්‍රාමාත්‍යතුමා දැඩි උනන්දුවක් දක්වනවා. එතුමාගේ නිර්දේශය මත, නිවාස 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

2015 සිට 2018 දක්වා ක්‍රියාත්මක වූ වෙනත් යටිතල පහසුකම් ව්‍යාපෘති පහත පරිදි වෙනවා:

  1. ජීවනෝපාය සහය-පවුල් 23, 548, (එක් පවුලකට රුපියල් 100,000/- )
  2. පොදු ගෘහ ළිං -1,817
  3. ජල සැපයුම් සම්බන්ධතා - පවුල් 10,245- (එක් පවුලකට රුපියල් 25,000/-)
  4. විදුලිබල සැපයුම් සම්බන්ධතා-පවුල් 14, 374
  5. අභ්‍යන්තර මාර්ග- 254
  6. සනීපාරක්ෂක පහසුකම්- පවුල් 14, 238- (එක් පවුලකට රුපියල් 60,000/-)
  7. රෝහල්/ සෞඛ්‍ය මධ්‍යස්ථාන - 56

ඉහත සඳහන් වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ආර්ථික සුබසාධනය උදෙසා ශ්‍රී  ලංකා රජය විසින් දියත් කරන ලද බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවලින් කිහිපයක් පමණයි.

“යළි භාරදීමට පෙර දේපළ විනාශ කළේ” යැයි නැඟෙන චෝදනා පිළිබඳව පළ කොට ඇති කනස්සල්ල සම්බන්ධයෙන් කතා කිරීමේදී  එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බව ඒකාන්ත වශයෙන් ප්‍රකාශ කිරීම අවශ්‍යයයි. ඊට පටහැණිව, සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා ආරක්ෂක හමුදා එසේ දේපළ භාරදීමට පෙර හමුදා යටිතල පහසුකම් ගලවා ඉවත් කොට තිබෙනවා.

එමෙන්ම මහකොමසාරිස්තුමියනි, උතුරු හෝ නැගෙනහිර පළාත්වත්, රටෙහි වෙනත් පළාතක්වත් “ජනපදකරණයට” ලක්කිරීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සතුව නොමැති බව සඳහන් කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් වනගහණයෙන් යුක්ත යැයි හෝ පුරාවිද්‍යා ව්‍යාපෘතිවලින් සමන්විතයැයි හෝ ප්‍රකාශ කරමින් ඉඩම් හිමියන්ට එම ඉඩම් ලබා නොදුන්නේ ය යන තර්කය සම්බන්ධයෙන් පැහැදිලිව සහ ඒකාන්ත වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ රජය එවැනි පියවරක් රැගෙන නොමැති බවයි. කෙසේවුවද, පරිසරය සහ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඇති සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, වනාන්තර ඉඩම් සහ පුරාවිද්‍යා ව්‍යාපෘති ආරක්ෂා කිරීම ඕනෑම රාජ්‍යයක වගකීමක් බව සිහියේ තබා ගත යුතුයි. තවද, අදාළ වනාන්තර ඉඩම් සහ සංස්කෘතික උරුමය සහිත ඉඩම් හඳුනාගැනීමේදී අදාළ පළාත් බලධාරීන් සමඟද සාකච්ඡා කෙරෙනවා.

මානව හිමිකම් උල්ලංඝනයවීම් වැලැක්වීමටත්, ලොව පුරා මානව හිමිකම් හදිසි අවස්ථාවන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමටත් මෙම කවුන්සිලය සතු විධිනියෝගය සම්පූර්ණයෙන්ම හඳුනා ගන්නා අතරම, ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ පශ්චාත් ගැටුම් සංක්‍රාන්තිය සහ සංහිඳියාව යන ගමන් මගෙහි ගමන් කළ රටවල්වල සංසන්දනාත්මක අත්දැකීම් මෙම කවුන්සිලය ඉතාමත් හොඳින් දන්නා බවයි. සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමවල වේගයත්, ඒවායේ ප්‍රතිඵලවලින් අපේක්ෂිත ගුණාත්මකභාවය, අන්තර්ගතභාවය, විස්තීර්ණභාවය හා තිරසරභාවයත් අතර ප්‍රවේසම්කාරී තුලනයක් පවත්වා ගැනීමට මේ රටවල් බොහෝ විට ඉතා හොඳින් සිතා බලා ප්‍රයත්න දරා තිබෙනවා. වෙනත් ඇතැම් පශ්චාත් ගැටුම් තත්ත්වයන්වලදී මෙන් නොව, ‘රාජ්‍යය ගොඩනැංවීමේ’ නොව ‘සාමය ගොඩනැංවීමේ’ අභියෝගය සහිත ශ්‍රී ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සත්‍යයක්. සුවපත්කිරීම සඳහාත්, සමාජ සහජීවනය උදෙසාත් ඵලදායී හා සංස්කෘතික වශයෙන් සංවේදී මෙන්ම ජීව්‍ය ව්‍යවහාරයන් සොයාගැනීමට ශ්‍රී ලංකා රජය ඇපකැප වී සිටිනවා.

කෙසේවුවත්,  ශ්‍රී ලංකාවේ දොස් දකින්නන් විසින් කරනු ලබන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් භාවිතා කරන්නා වූ සාක්ෂ්‍යවල ප්‍රමිතීන් හා සංසන්දනය කර බලන විට, ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් භාවිතා කරන්නා වූ සාක්ෂ්‍යවල ප්‍රමිතීන්ගේ ඇති සැලකිය යුතු මට්ටමේ විසමභාවය ගැටලු සහගත මෙන්ම ව්‍යාකූලයි. මෙම සන්දර්භය තුළ, මහකොමසාරිස්වරියගේ වාර්තාවේ 23 වැනි ඡේදයේ සඳහන් වන, මීට පෙර විස්තර කර කියන ලද මන්නාරමේ සමූහ මිනීවළ ඊට එක් උදාහරණයක්. මෙම වාර්තාව ඉකුත් මාස ගණනාවක් තිස්සේ පිළියෙළ කරන්නට ඇති වූවත්, එය නිකුත් කරන මොහොත වන විටත් වෝහාරික සාක්ෂි පදනම් කරගෙන එම ඇටසැකිළිවල කාලය සම්බන්ධයෙන් තීරණයක් ලබා දී තිබුණාමෙම වැදගත් තොරතුර වාර්තාවේ ඇතුළත් කොට ඇති බවක් අපට පෙනෙන්නේ නෑ. තවද, “වෙනත් සමූහ මිනීවළවල් අනාගතයේදී හමුවීම අපේක්ෂා කළ හැකි” යැයි වාර්තාව පූර්වකල්පනය කරනවා. මෙවැනි වැදගත් හා බැරෑරුම් කාරණයක් සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ වාර්තාවක මේ ආකාරයේ උපකල්පනයක් කිරීම පිළිගත නොහැකිවාක් මෙන්ම මේ වාර්තාවේ සඳහන් සෙසු ප්‍රකාශ සම්බන්ධයෙන්ද ඉන් සැකයක් ඇති වීමට ඉඩ තිබෙනවා.

පවතින කරුණු කිසියම් න්‍යායකට නොගැළපෙන විට එම න්‍යාය වෙනස් කළ යුතු බව සාම්ප්‍රදායික ප්‍රඥාව අපට උගන්වනවා. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව විෂයෙහි සාම්ප්‍රදායික ප්‍රඥාව යොදා ගැනෙන බවක් පෙනෙන්නට නෑ. ශ්‍රී ලංකාව නිර්දෝෂීභාවයට පමුණුවන ශක්තිමත් සාක්ෂි මඟින් න්‍යාය විඛණ්ඩනය කළේ වුවත්, ශ්‍රී ලංකා රජය වරදෙහි පටලවන්නට ඇතැම් සංශයවාදීන් තැත් කළ මන්නාරම් සමූහ මිනීවළේ සිද්ධියේදී මෙන්, තව දුරටත් විමර්ශන කිරීම සඳහා එවැනි සාක්ෂි පසෙකට දමන බවක් පෙනෙන්නට තිබෙනවා. ‍

ඒ අතරම, මීට පෙර කියන ලද ආකාරයට, ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සහ පොලීසිය සිතා මතාම සිවිල් වැසියන්ට හානි කරන ලද බවට නැඟෙන දෝෂාරෝපණ අභියෝගයට ලක් කරන සාක්ෂි මතු වූ විට, එම සාක්ෂි වහා නොසලකා හරිනු ලබනවා.

 

මහකොමසාරිස්තුමියනි,

‘ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර මානූෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව නැඟෙන චෝදනා විමර්ශනය කිරීම පිණිස දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමෙහිලා ඇවැසි නීති සම්මත කරගන්නා’ ලෙස ශ්‍රී ලංකා රජයට කෙරෙන නිර්දේශ අඩංගු මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාල වාර්තාවේ (A/HRC/40/23) 68 (සී) ඡේදය සම්බන්ධයෙන් කතා කිරීමේදී, මෙම කරුණ පිළිබඳව අපගේ ස්ථාවරය පහත සඳහන් ආකාරයෙන් පැහැදිලි කරන්නට මා කැමැතියි.

සිය අධිකරණමය ක්‍රියා පරිපාටිවලට පුරවැසියන් නොවන පුද්ගලයන් ඇතුළත් කිරීමෙන් තමන් වළකාලන ව්‍යවස්ථාමය සහ නෛතික අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා රජය ඉහළම දේශපාලන මට්ටම්වලින් ප්‍රසිද්ධියේත්, වර්තමාන සහ හිටපු මානව හිමිකම් මහකොමසාරිස්වරුන් සහ සෙසු සංවාදකයන් සමඟ පැවැති සාකච්ඡාවලදීත් පැහැදිලි කරදී තිබෙනවා.  ඉදින් පුරවැසියන් නොවන විනිශ්චයකාරවරුන් එවැනි ක්‍රියා පරිපාටියකට පත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් මෙන්ම ජනමතවිචාරණයකදී ජනතාවගෙන් ලැබෙන අනුමතියෙන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව  කිරීමට නොහැකි බව පැහැදිලි කොට දී තිබෙනවා.

මෙම පසුබිම තුළ, සම අනුග්‍රාහකයන්ද ඇතුළු රටවල් සාකච්ඡාවලදී මෙම යථාර්ථයන් පිළිගන්නා අතර එම නොගැළපීම් ලිඛිතවද වෙනස් කළ යුතු වනවා.  විශේෂයෙන්ම මෑතකදී පෙන්වූ ලෙස, අපගේ අධිකරණ, රජයේ සේවය හා ආරක්ෂක ආයතන ස්වාධීනත්වය, ප්‍රත්‍යස්ථිතිය, ශක්තිමත්බව හා අධිෂ්ඨාන සහගතබව ප්‍රදර්ශනය කොට ඇති අවස්ථාවක, ජාත්‍යන්තර යහව්‍යවහාරයන් අන්තර්ගත නවෝත්පාදක හා ක්‍රියාත්මක කළ හැකි දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාදාම සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කළ යුතු අතර ඊට සහයද දැක්විය යුතුයි. මහකොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් කොට ඇති පරිදි ‘වින්දිතයන්ගේ සහ පෘථුල සමාජයේ විශ්වසනීයත්වය දිනා ගන්නා’ ආකාරයකින් මෙම සිදුවීම් අවසානයක් කරා ගෙනයෑමට අපට හැකි වන්නේ එවිට පමණයි.

අප සියලු දෙනාම ප්‍රතිඵල දකින්නට නොඉවසිල්ලෙන් සිටිනවා. කෙසේවුවත්, දශක ගණනාවක් පැරණි, සංවේදී සහ සංකීර්ණ ගැටලු සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිඵල පෙන්වීම සඳහා කාලසීමාවකට යටත් කරන ලද මිණුම් ලකුණු නියම කිරීම අනිවාර්යයෙන්ම අසාර්ථක වනවා. සිය ජනතාවගේ සුබසාධනයට සහ කල්පවත්නා සාමයට පිළියම් සෙවීමේදී ස්වාධිපත්‍යයෙන් යුත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සිය ප්‍රමුඛතා සකස් කළ යුතුයි. එමනිසා, මානව හිමිකම් ඉහළට ඔසවා තබමින් ඒවා ආරක්ෂා කිරීමේ පරම අරමුණ ඉටු කරගැනීමට කටයුතු කරන අතරම, විවිධ ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සංවේදීතාවන් කළමනාකරණය කර ගැනීම අවශ්‍ය වනවා. මෙම කවුන්සිලය සහ සෙසු සියලු මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ ශ්‍රී ලංකාව පවත්වන සහසම්බන්ධතාව සහ සමීප සහයෝගීතාව සැබැවින්ම පැන නඟින්නේ එක්සත් හා සමෘද්ධිමත්   රටක් ලෙස ජාතියේ ඇති විවිධත්වයට ගරු කරමින් සහ එය සමරමින් සියලු පුරවැසියන්ගේ සමාන අයිතිවාසිකම්, යුක්තිය සහ අභිමානය සහතික කරමින් ජාතියේ අනාගතය ගොඩනැඟීමට 2015 වසරේදී ශ්‍රී ලංකාවේ ජනතාවට රජය ලබා දුන් ප්‍රතිඥාවලින් සහ දේශපාලන අධිෂ්ඨානයෙනුයි.

මහකොමසාරිස්තුමියනි,

මෙම සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ගොඩනැංවීමේදී, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ හැකියැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන්නේ නෑ.

එසේ වුවද, එක්සත් ජාතීන් සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සිය විශේෂඥ දැනුමෙන් සහ සහයෝගයෙන් ලබා දෙන ප්‍රතිලාභය, විශේෂයෙන්ම සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීමේ සහතික පිළිබඳ විශේෂ නියෝජිතවරයාගේ තාක්ෂණික උපදේශකයන් ලබා දෙන ප්‍රතිලාභය  ශ්‍රී ලංකාව  සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. වෙනත් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් පෙන්වූ අවබෝධාත්මකබවද, ඔවුන් විසින් ලබාදීමට සූදානම් තාක්ෂණික හා මුල්‍යමය සහයෝගයද අප අගය කරනවා. ශක්නුතා වර්ධනය සඳහා ලබා දෙන වැඩිදුර සහයෝගයද, විශේෂයෙන්ම ඔවුන්ට අදාළ ක්ෂේත්‍රයන්ගේ විශේෂඥ කුසලතා වර්ධනය කිරීම සඳහාත් දැනට ක්‍රියාත්මක වමින් පවතින දේශීය ක්‍රියාදාමවල ක්‍රියාකාරීත්වය සහ විශ්වසනීයත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහාත් අධිකරණ, අභිචෝදක සහ විමර්ශන නිලධාරීන් වෙත ලබා දෙන පුහුණුව අප ඉතාමත් කැමැත්තෙන් භාර ගන්නවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සහ ක්‍රියාදාමයන් සමඟ අඛණ්ඩවම සහසම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන්ම සමාජ-ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් ලබා ගැනීම කරාත් අපගේ ජනතාව වෙනුවෙන් කල් පවත්නා සාමය සහ සංහිඳියාව තහවුරු කර ගැනීම කරාත් අප යන ගමනේදී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා රජය උදක්ම අපේක්ෂා කරනවා.

ස්තූතියි.

[1]https://hansard.parliament.uk/Lords/2017-10-12/debates/14CAA83D-8895-4182-8C4F-D964E0A5B399/SriLanka;

https://parliament.lk/uploads/documents/paperspresented/report-of-paranagama.pdf

http://margastorehouse.org/The%20Last%20Stages%20of%20the%20war%20in%20Sri%20Lanka.pdf;

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close