මාධ්‍ය නිවේදනය - විදේශ කටයුතු අමාත්‍යාංශය/ අග්‍රාමාත්‍ය කාර්යාලය/ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

මාධ්‍ය නිවේදනය – විදේශ කටයුතු අමාත්‍යාංශය/ අග්‍රාමාත්‍ය කාර්යාලය/ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

මාධ්‍ය නිවේදනය

සම අනුග්‍රාහකත්වයෙන් යුත් යෝජනා සම්මතයක් මඟින් ස්ථිර සහ කල් පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට තමන් තුළ ඇති කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩවම ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරෙන සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් 2015 ඔක්තෝබර් 01 වැනි දිනැති 30/1 යෝජනා සම්මතයේ කාලසීමාව දීර්ඝ කරවා ගැනීමට කටයුතු කරයි.

එම යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති හිමිකාරීත්වයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ ඵලදායී ලෙස සහසම්බන්ධවීමේ සහ සංවාදයක් පවත්වා ගැනීමේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිපත්තියත් මෙම ක්‍රියාමාර්ගය මඟින් තවදුරටත් තහවුරු වේ.

2017 පෙබරවාරි-මාර්තු මාසවලදී පැවැත්වුණු මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේදී, 2015 ඔක්තෝබර් 01 වැනි දිනැති 30/1 යෝජනා සම්මතයේ කාලසීමාව වසර දෙකක කාලයකින් දීර්ඝ කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලක්ෂ්‍ය කණ්ඩායම (එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැසිඩෝනියාව, මොන්ටෙනීග්‍රෝ) සමඟ සමීපව සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය. ඒ අනුව, 2017 මාර්තු 23 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේදී පොදු එකඟතාවෙන් යුතුව සම්මත කරගනු ලැබූ 34/1 යෝජනා සම්මතය ප්‍රකාර, යෝජනා සම්මත 30/1 ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විය යුතු වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම පදනම් වනුයේ 2019 මාර්තු 20 වැනි දින කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වාර්තාව මත ය.  ඒ අනුව, සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීම මෙම පසුබිම යටතේ සලකා බැලීම අවශ්‍ය වේ.

එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමත් සමඟම, ශ්‍රී ලංකාව හා සම්බන්ධ කවුන්සිලයේ ලක්ෂ්‍ය කණ්ඩායමේ නායකත්වය එක්සත් රාජධානිය විසින් ගනු ලැබ ඇත. කැනඩාව සහ ජර්මනියද මෙම ලක්ෂ්‍ය කණ්ඩායමට එක් වී තිබේ. එබැවින් කල් ඉල්ලා සිටීමේ මෙම යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙහිලා ලක්ෂ්‍ය කණ්ඩායමේ නායකත්වය දරන එක්සත් රාජධානිය සමඟ ශ්‍රී ලංකාව අත්වැල් බැඳගනියි.

30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි හිමිකාරීත්වය ශක්තිමත් කිරීම ඔස්සේ, ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව නැඟෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලක්වාලීමට මෙම උපාය මාර්ගය සමත් වනු ඇත.

2015 යෝජනා සම්මතය සහ ඊට පසුගාමීව ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න වනාහී 2009 මෙරට සංචාරය කළ එවක එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතා වෙත එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් දෙන ලද ප්‍රතිඥාවල අනුක්‍රමික ඵල වේ. 2009 එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ අවසන් ඡේදය පහත සඳහන් පරිදි ය:

‘’ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් ප්‍රකාර, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට තමන් තුළ ඇති දැඩිම වූ කැපවීම ශ්‍රී ලංකාව යළි අවධාරණය කළේය. ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනයවීම්වලට පිළියම් යොදන වගවීමේ ක්‍රියාදාමයක ඇති වැදගත්කම මහලේකම්වරයා ඉස්මතු කොට දැක්වීය. එම දුක්ගැනවිලිවලට පිළියම් යෙදීමට රජය පියවර ගනු ඇත. ’’

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය පිහිටුවීම වැනි, ශ්‍රී ලංකාවේ කල්පවත්නා සාමය හා සංහිඳියාව ස්ථාපනය කරන ප්‍රත්‍යක්ෂ පියවර පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබ ඇත. ඒ, තොරතුරු දැනගැනීමට ඇති අයිතියද ඇතුළු,  නීති පනත් රැසක් බලාත්මක කිරීමෙන් ශක්තිමත් කරනු ලැබූ, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට අමතරව ය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ආර්ථික ලාභාංශවල ප්‍රතිලාභ, විශේෂයෙන්ම යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහන ඇතුළු ප්‍රතිලාභ ලැබිණි. දැනට ක්‍රියාත්මක වමින් පවතින ක්‍රියාදාම ශක්තිමත් කිරීමේ අරමුණෙන් නව පනත් කිහිපයක් හඳුන්වා දීමට නියමිත ය. සංහිඳියාවේ පූර්ණ යාන්ත්‍රණය සහ ක්‍රියාදාමය ශ්‍රී ලංකා රජය යටතේ පවතියි.

“රණවිරුවන්” වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන පුද්ගලයෝ අපගේ නිර්භීත සෙබළුන් බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ සහ වෙනත් ස්ථානවල සාමසාධක රාජකාරිවල නියැළෙන්නේය යන කරුණ ඉතා පහසුවෙන් අමතක කර දමති. එසේ සාමසාධක මෙහෙයුම්වලට දායකවීමේ අවස්ථාව අපට ලැබුණේ අප යෝජනා සම්මතයට සම අනුග්‍රහය දැක් වූ හෙයිනි. තවද, ශ්‍රී ලාංකික සෙබළුන්ට වැඩිපුර පුහුණු අවස්ථා ලබා දෙමින් හමුදා අතර සහයෝගය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී තිබේ. අපගේ රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා කොට ඇති අතර මානව හිමිකම් කවුන්සිල ක්‍රියාදාමයට ඇති හිමිකාරීත්වය තහවුරු කිරීම මඟින් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගෙන ඇත. මෑතකදී පැවැත්වූ අපගේ යුදහමුදා සාමසාධක භටයන් දෙදෙනාගේ අවසන් කටයුතුවලදී අපට ඒ බව සියැසින් දැකිය හැකි විය.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන තත්ත්වය සාමකාමී ලෙස විසඳාගැනීමෙහිලා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විසින් නිරූපණය කරනු ලැබූ ශක්තිමත් භූමිකාව කල් ඉල්ලා සිටීමේ යෝජනා සම්මතයේ කෙටුම්පත විසින් පිළිගැනීමට ලක් කෙරෙයි. ඒ වනාහී අපගේ ජාතික ආයතනවල ස්වාධීනත්වයට, විශ්වසනීයභාවයට සහ ප්‍රත්‍යස්ථිතියට ප්‍රබල සාක්ෂියකි.

කල් ඉල්ලා සිටීමේ යෝජනා සම්මතයට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීමට එරෙහිව නැඟෙන චෝදනා වනාහී මහජනතාව නොමඟ යැවීමටත්, අයුතු දේශපාලන වාසි ලබාගැනීමටත් කරන්නා වූ ව්‍යාපාරයේම කොටසකි. 2015 දී රජය බලයට පත් වූ ආකාරයත්, සිදුවන්නට තිබූ ජාත්‍යන්තර විනාශයක් ඒ අවස්ථාවේදී යෝජනා සම්මතයට සම අනුග්‍රහය දැක්වීමෙන් වළක්වා ගැනීමට එය සහය වූ ආකාරයත් මේ රටේ ජනතාව දනිති.

වර්තමාන පියවර වනාහී, සංහිඳියාව, සාමය ගොඩනැංවීම සහ ජාතික සමෝධානය සම්බන්ධ ගැටලුවලට පිළියම් යෙදීම පිණිස ශ්‍රී ලංකා රජයට වැඩිපුර කාලය ඉල්ලා සිටීමක් විනා වෙන යමක් නොවේ. උදාහරණයක් හැටියට, 2018 ඔක්තෝබර් 26 වැනි දින ඇති වූ කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය හේතුවෙන්, අවශ්‍ය කර තිබූ ඇතැම් නීති සම්පාදන අවසන් කිරීමට           ශ්‍රී ලංකා රජයට නොහැකි විය. රට ගළවා ගැනීමට අවශ්‍ය අවස්ථාවකින් නිර්ලජ්ජී ලෙස ලාභ දේශපාලන වාසි ලබාගැනීමට තැත් කරන්නෝ අපගේ මාතෘභූමියේ සැබෑ ද්‍රෝහියෝ වෙති.

2019 මාර්තු 06 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close