මාතෘභූමිය ගොඩනැගීම සඳහා එකමුතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන් සතු ජාතික වගකීම පිළිබඳව අවධාරණය කරමින්  තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සමරයි

මාතෘභූමිය ගොඩනැගීම සඳහා එකමුතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන් සතු ජාතික වගකීම පිළිබඳව අවධාරණය කරමින්  තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය සමරයි

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය, එතුමියගේ සැමියා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් 2022 පෙබරවාරි 4 වැනි දින බැංකොක් හි ෆෙයාවිව් කුළුණෙ හි පිහිටි තානාපති නිල නිවසේ දී ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දින සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.

තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය විසින් ජාතික ධජය ඔසවනු ලැබීමෙන් අනතුරුව, ජාතික ගීය ගායනා කොට මෙම උත්සවය අරඹන ලදි. ඉන් අනතුරුව, රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ සියලුම දේශප්‍රේමී රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදි. පසුව කොළඹ පැවති ජාතික නිදහස් දින උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිදු කළ කතාව, තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ නිදහස් දින පණිවුඩ, චාන්සරි කාර්යාලයේ ප්‍රධානී සහ පළමු ලේකම් සාරිතා රණතුංග මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම අවස්ථාවේ දී අදහස් පළ කළ තානාපතිනිය, තම ආදරණීය මාතෘභූමිය 1505 වර්ෂයේ සිට 1948 වර්ෂය දක්වා. එනම් වසර 443ක් මුළුල්ලේ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතු වූ ආකාරයත්, 1948 වර්ෂයේ පෙබරවාරි 04 වැනි දින අප ලැබූ නිදහස සඳහා ඉවහල් වූ දේශපාලනික අරගලය සිංහල, දමිළ සහ මුස්ලිම් නායකයන් විසින් එකාවන්ව මෙහෙයවනු ලැබූ ආකාරයත් සිහිපත් කළා ය.

නිසි නායකත්වයක් ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සූදානමින් සිටින බැවින්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් උද්ගතව ඇති වත්මන් අභියෝග ජයගැනීමට අපට හැකි බවද තානාපතිනිය ප්‍රකාශ කළාය. මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වගකිවයුතු පුරවැසියන් ලෙස අප සැමට ජාතික වගකීමක් ඇති බවත්, ඒ අනුව, එකමුතුවී කටයුතු කරමින් අපගේ මාතෘ භූමිය ගොඩනැගීමටත්, ඵලදායී පුරවැසියෙකු, ප්‍රීතිමත් පවුල් සංස්ථාවක්, විනයගරුක සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක් නිර්මාණය කිරීම සඳහා රජයට සහයෝගය දැක්විය යුතු බවත් එතුමිය සඳහන් කළා ය.

බුදුරජාණන් වහන්සේගේ සර්වකාලීන දහම් පණිවුඩය ඔස්සේ මෙහෙයවනු ලැබූ සහ පොහොණි වූ, පොදු අධ්‍යාත්මික උරුමයක් සහ ඉතිහාසයක් මත පදනම් වූ ශ්‍රී ලංකා-තායිලන්ත ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළ තානාපතිනිය, එම විශිෂ්ඨ මිත්‍රත්වය සහ සහයෝගීතාව තායිලන්ත රාජධානියේ රජු වන මහා වජිරලොන්කෝන් ෆ්‍රා වජිරක්ලාඕචාඕයුහුවා රජුගේ ආශිර්වාදය ද සහිතව, විශේෂයෙන්ම වෙළෙඳාම, ආර්ථිකය සහ ආයෝජනය යනාදී ක්ෂේත්‍ර හරහා නවමු මංපෙත් ඔස්සේ ව්‍යාප්ත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද, වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

2022 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් සංවත්සරය සමරන අතරතුර, ‘රේඩියෝ තායිලන්ඩ් වර්ල්ඩ් සර්විස්’ නමැති ජාතික ගුවන්විදුලි සේවය සහ තායිලන්ඩ් එලයිට්+ සඟරාව, තානාපතිවරයා පළ කළ විශේෂ පණිවුඩයක් නිකුත් කළ අතර, එක්ස්පැට් ලයිෆ් සඟරාව තානාපතිවරයා සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් පළ කළේ ය.

මෙම උත්සවයෙන් අනතුරුව, තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය සහ එතුමියගේ සැමියා වන ස්ටෙෆාන් නිශාන්ත සේනානායක මහතා විසින් දිවා භෝජන සංග්‍රහයක් සඳහා සත්කාරකත්වය සපයන ලදි. තායිලන්තය සඳහා වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකාර තාරක ගලහිටියාව මහතා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයෝ ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්

2022 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close