මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අප්‍රිකානු නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අප්‍රිකානු නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන කටයුතු ඉදිරියට ගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝස්තු 18 වැනි දින, අප්‍රිකානු දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කළේ ය. විශේෂයෙන්ම වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප්‍රිකානු මහාද්වීපයේ රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව පවත්වන නිරතවීම් ඉහළ නැංවීම කෙරෙහි ද මෙම අන්තර් ක්‍රියාකාරකම මඟින් අරමුණු කෙරිණි.

බොට්ස්වානා සහ ගැම්බියා හි මහ කොමසාරිස්වරුන්, ඉතියෝපියාවේ සහ මාලි හි තානාපතිවරුන් මෙන්ම ඇල්ජීරියාව, බුර්කිනා ෆාසෝ, ගිනියාව, ලෙසතෝ සහ මලාවි යන රටවල කාර්යභාර නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ. අප්‍රිකානු දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් සමන්විත දෙවැනි කණ්ඩායමකට මීළඟ අන්තර්ක්‍රියාකාරී සැසියේ දී සත්කාරකත්වය ලබා දීමට නියමිත ය. මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා නවදිල්ලි නුවර දී සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, සමගාමීව අක්ත ගන්වන ලද දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ මෙම අයුරින් අදහස් හුවමාරු කරගත් පස්වැනි අවස්ථාව මෙය විය. එතුමා මීට පෙර, පිළිවෙලින් 2022 ජුනි 21 සහ ජූලි 19 යන දිනවල යුරෝපීය දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් සහ ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වී ය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ආරාධිත දූත මණ්ඩල ප්‍රධානීන් සාදරයෙන් පිළිගත් අතර, විශේෂයෙන්ම වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදාළ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තමන් තුළ ඇති කැමැත්ත පළ කළේ ය. ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමේ දී තම ධුරය ඔස්සේ ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ද එතුමා ප්‍රතිඥා දුන්නේ ය. එතුමා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන ප්‍රවණතා සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ප්‍රකෘතියට පත් කිරීම සඳහා ඇති සැලසුම් පිළිබඳව දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කළේ ය. ඉන් අනතුරුව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවති අතර, එහිදී දූත මණ්ඩල ප්‍රධානීහු මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළහ. මෙම අන්තර් ක්‍රියාකාරී සැසිය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 අගෝස්තු 24 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close