බිම්ස්ටෙක් හි අමාත්‍ය රැස්වීම කොළඹදී පැවැත්වේ

බිම්ස්ටෙක් හි අමාත්‍ය රැස්වීම කොළඹදී පැවැත්වේ

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ (BIMSTEC) 18 වැනි අමාත්‍ය රැස්වීම ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ2022 මාර්තු 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දෙමුහුන් අයුරින් පවත්වන ලදී. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු මෙම අමාත්‍ය රැස්වීම සඳහා පුද්ගලික වශයෙන් සහභාගී වූ අතර, මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය අයුරින් සහභාගී විය.

මෙම රැස්වීමේ සභාපතිත්වය දැරූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ භූ උපායමාර්ගික පිහිටීම හේතුවෙන්,ශ්‍රී ලංකාවශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පටන් විවිධ ජාතීන් හා පුද්ගල කොට්ඨාශවලට අයත් සමීප හා දුරස්ථ සංචාරකයන් එනම්, වෙළෙන්දන්, නාවිකයින්, ආගමික මිෂනාරිවරුන්, විද්වතුන් සහ ලේඛකයින් බොහෝ පිරිසක් ආකර්ෂණය කරගත් බව සඳහන් කළේ ය. බිම්ස්ටෙක් සංවිධානයේ අනුග්‍රහය යටතේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ සිටින විදේශ අමාත්‍යවරුන් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් කොළඹට ගෙන්වීම සඳහා ශ්‍රී ලංකාව පසුබිම සකස් කරන බවත්, එමගින් මෙම කලාප දෙක එකිනෙක සම්බන්ධ වන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටවල් අතර ඉහළ ආර්ථික සහයෝගීතාවක් ඇති කිරීම සඳහා බිම්ස්ටෙක් සංවිධානය තුළ කටයුතු  කරන ලෙස, අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී ඉල්ලා සිටියේය. ගෝලීය ආර්ථික වර්ධන ගමන් පථය ආසියාව දෙසට ගමන් කරන බැවින්, බිම්ස්ටෙක් රටවල වෙළෙඳ සහ ආයෝජන සංරචකය යළි පණ ගැන්විය යුතු බවදඑතුමා අවධාරණය කළේය. තවද, කලාපයේ පුද්ගලික අංශයේ සහභාගීත්වය සහ ජාලකරණය මේ සඳහා ඉතා වැදගත් පියවරක් වන බවත්, පුද්ගලික අංශය ආශ්‍රිත ශක්තිමත් සහ ගතික ජාලයක් ගොඩනැගීම සඳහා මෙම සංවිධානය පෙරමුණ ගත යුතු බවත්, වෙළඳාම සහ ආයෝජන ගලායාම වැඩි දියුණු කිරීම සඳහා මෙම කලාපයේ පුද්ගලික අංශයට එක්ව කටයුතු කිරීම සඳහා පහසුකම් සැලසිය යුතු බවත් එතුමා ප්‍රකාශ කළේය.

ආසියාව ලොව ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් සිටින මෙවැනි අවස්ථාවක සහ එම වෙනස හේතුවෙන් පරිභෝජන රටා දනිරන්තරයෙන් වෙනස් වන පසුබිමක, ගෝලීය ආර්ථිකය තුළ අද්විතීය වෙනසක් සිදු කළ හැකි රටවල් සමූහයක් බිම්ස්ටෙක් සංවිධානය සතුව පවතින බව, ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දුන්  කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. මෙම සමූහයේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවට මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබාදීමට හැකියාව ලැබීමත්, මෙම සුවිශේෂී සමූහයේ ඉදිරි ගමන ස්ථිර ප්‍රතිඵල සහිත ගමනක් දක්වා වේගවත් කිරීමට හැකියාව ලැබීමත් ඉතා සුවිශේෂී කරුණක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව, එතුමා තවදුරටත් සඳහන් කළේ ය.

බිම්ස්ටෙක් සංවිධානය සෞභාග්‍යය සහ සාමය සඳහා වූ විචිත්‍රවත් වේදිකාවක් වශයෙන් හැඳින්වූ විදේශ අමාත්‍යවරු, වෙළෙඳාම සහ ගිවිසුම් ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් බිම්ස්ටෙක් සංවිධානය සිදු කරන ක්‍රියාකාරකම්, රටවල් අතර පවත්නා සහයෝගීතාව වේගවත් කිරීම සඳහා වන ඉදිරි පියවරක් බව අවධාරණය කළහ.කෘෂිකර්මය, ආහාර සුරක්ෂිතතාව, සම්බන්ධතාව සහ බලශක්තිය වැනි අංශ ආශ්‍රිත ක්‍රියාකාරකම් වේගවත් කරන ලෙස, මෙම අමාත්‍යවරුන් බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය දිරිමත් කළහ.

බිම්ස්ටෙක් සංවිධානයේ සභාපතිත්වය දරමින් කටයුතු කළ අවධියේ දී සාමාජික රටවල් ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළ ශ්‍රී ලංකාව, මීළඟ අමාත්‍ය රැස්වීමේ සභාපතිත්වය දැරීමට නියමිත තායිලන්තය වෙත බිම්ස්ටෙක් හි සභාපති ධුරය උත්සවාකාරයෙන් පිරිනැමීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close