බිම්ස්ටෙක් සාමාජික රටවල 17 වන රැස්වීමේ සභාපතිත්වය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට

බිම්ස්ටෙක් සාමාජික රටවල 17 වන රැස්වීමේ සභාපතිත්වය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) අමාත්‍ය රැස්වීමේ 17 වන සැසිවාරයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට හිමි විය. ඉකුත් 01 දා කොළඹදී පැවැති මෙම සමුළුවේ මුලසුන හොබවමින් අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේ BIMATEC සාමාජික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ප්‍රඥප්තිය කඩිනමින් අවසන් කළ යුතු බවය. එම ප්‍රඥප්තියේ කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි මන්ත්‍රීවරුන්ට කැපවීමට වැඩි ඉඩක් ලැබෙන බවද පාර්ලිමේන්තු භාවිතය පිළිබඳව අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලැබෙන බවද අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

BIMSTEC රැස්වීමට එහි සාමාජිකත්වය දරන බංගලිදේශය, භූතානය. ඉන්දියාව, මියන්මාරය, නේපාලය, හා තායිලන්තයද, ශ්‍රී ලංකාව සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සිටියහ. ආසියානු සංවර්ධන බැංකුව විසින් සකස් කරන ලද බිම්ස්ටෙක් ප්‍රවාහන සබඳතා ප්‍රධාන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කළ වෙරළබඩ නාවුක ගමනාගමනය, ජල මාර්ග, තොටුපල හා වරාය ඇතුළු ප්‍රවාහන සබඳතා අද වන විට මුහුණ දී ඇති බාධාවන් අධ්‍යයනය කොට, අනාගතයේදී ගුවන් භාණ්ඩ සැපයීම, මහජන සබඳතා හා කලාපීය සංවර්ධනයට ගැළපෙන අයුරින් සැලසුම් සකස් කළ යුතු බවද අමාත්‍යවරයා BIMSTEC රැස්වීමේ මුලසුන දේශනය පවත්වමින් සඳහන් කළේය.  මෙම සමුළුවේ ශ්‍රී ලංකා නියොජිත කණ්ඩායමේ නායකත්වය උසුලනු ලැබූවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසිනි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

 

2021 අප්‍රේල් මස 02 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close