" පශ්චාත් වසංගත සමයේ සංචාරකයින් සඳහා ආතතිය තුරන් කිරීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව" 2021 නයිටාස් (NAITAS) සංචාරක ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

” පශ්චාත් වසංගත සමයේ සංචාරකයින් සඳහා ආතතිය තුරන් කිරීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව” 2021 නයිටාස් (NAITAS) සංචාරක ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

2021 දෙසැම්බර් මස 4 සිට 5වන දින දක්වා පැවැත්වුණු ස්වාධීන සංචාරක නියෝජිතායතන ජාතික සංගමයේ - නයිටාස් (NAITAS) සංචාරක ප්‍රදර්ශනයේ (NTS) 2021 වාර්ෂික අදියර සඳහා සහයෝගිතා හවුල්කරුවෙකු වශයෙන් එක්වීමට මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ආරාධනා ලැබිණි. මෙම වසරේ ප්‍රදර්ශනය අතථ්‍ය ජාලකරණ සැසියක් සහ පිලිපීනයේ බිකෝල් ප්‍රාදේශීය කලාපය තුළ පිහිටි නාගා නගරයේ ස්ථාපිත රොබින්සන්ස් වෙළඳ සංකීර්ණයේ දී භෞතික ව පැවැත්වුණු අංගයක් ඇතුළත් දෙමුහුන් අදියරකින් සමන්විත විය.

මෙම ප්‍රදර්ශනයේ දී තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව සංචාරක ප්‍රවර්ධන වීඩියෝපට සහ අත් පත්‍රිකා හරහා ශ්‍රී ලංකාව පශ්චාත් වසංගත සමයේ සංචාරක ගමනාන්තයක් ලෙස පිලිපීනයේ සංචාරක නියෝජිතයින් සහ සංචාරකයින් වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර ප්‍රදර්ශනයේ භෞතික ව පැවති අංගයේ දී එම වීඩියෝපට විකාශය කරමින් අත්පත්‍රිකා බෙදා හරින ලදි. එසේ ම 2021 දෙසැම්බර් මස 4 වන දින පැවැත්වුණු අතථ්‍ය ජාලකරණ සැසිය සඳහා ශ්‍රී ලාංකික සංචාරක නියෝජිතයින් පස් දෙනෙක් සහභාගී වූහ.

මැනිලා හි ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මහත්මිය සිය අදහස් දැක්වීමේ දී ගෝලීය සෞඛ්‍ය තත්ත්වයේ පවත්නා අභියෝග මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වීමට සූදානම් වන මොහොතේ ඒ සඳහා වන අපේක්ෂාවේ සලකුණක් ලෙස මෙම ක්‍රියාකාරකම සංවිධානය කිරීම සම්බන්ධයෙන් නයිටාස් සංගමය වෙත සිය ප්‍රශංසාව පුද කළාය. එමෙන්ම #HelloAgain යන හැෂ් ටැග් ලාංඡනය යටතේ ශ්‍රී ලංකාව වර්තමානයේ සංචාරක ව්‍යාපාරය සඳහා විවෘතව ඇති බව එතුමිය සිය ඉදිරිපත් කිරීම තුළින් අවධාරණය කළාය. වසංගතය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ වර්තමාන හිතකර තත්ත්වය, විශේෂයෙන් රටේ ජනගහනය සම්බන්ධ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සියයට 70ක පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතයක් අත් කර ගැනීම ගැනීම පිළිබඳව ද එතුමිය සාකච්ඡා කළාය.

මෙහි දී තානාපතිනිය විසින් පෞරාණික වෙරළ තීරය, සශ්‍රීක කඳු, ප්‍රොඪ සංස්කෘතික ස්ථාන, විනෝදකාමී ත්‍රාසජනක ක්‍රියාකාරකම්, ආයුර්වේද සම්බාහන සහ ප්‍රතිකාර පහසුකම් මෙන්ම සාප්පු සවාරි සහ සුඛෝපභෝගී ක්‍රියාකාරකම් වැනි නූතන පිරිනැමීම් යනාදියෙන් පෙළගැස්වුණු විවිධ ආකර්ෂණීය ස්ථාන හරහා රටේ පවතින සුසංහිත, අව්‍යාජ සහ ගතික විකුණුම් අවස්ථා පිළිබඳව ද පැහැදිලි කරනු ලැබුවාය. එසේ ම පශ්චාත් වසංගත සමයේ සංචාරකයින් විශේෂයෙන් 21වන සියවසේ සංචාරකයින්, නිදහස් සහ ස්වාධීන සංචාරකයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ඩිජිටල් අවකාශය මත පදනම්ව කාර්යයේ නියුතු සංචාරකයින්ගේ අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාව මනා ව යෝග්‍ය වන බව ඇය සඳහන් කළාය.

නයිටාස් සංගමය පිලිපීනයේ විශාලතම සංචාරක සංගම් වලින් එකක් වන අතර 2022 වසරේ පළමු කාර්තුවේ දී මෙම සංගමය විසින් සිය සාමාජිකත්ව සහ ව්‍යාපාරික මහා සභා රැස්වීම පැවැත්වීම සඳහා වන චාරිකාවක් උදෙසා ශ්‍රී ලංකාවේ සංචාරයක් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.නයිටාස් සංචාරක ප්‍රදර්ශනය යනු නයිටාස් සංගමය විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන සංචාරක සංදර්ශනයකි. මෙම සංචාරක ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරික පාර්ශ්වකරුවන්, නයිටාස් සංගමයේ සාමාජිකයින්, සංචාරක නියෝජිතායතන සහ උද්‍යෝගිමත් පිලිපීන සංචාරකයින් ගණනාවක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 දෙසැම්බර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close