නෙදර්ලන්ත තානාපතිවරිය හමුවූ විදේශ අමාත්‍යතුමා නෙදර්ලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පවතින දිගු කාලීන සබඳතා අවධාරණය කරයි

නෙදර්ලන්ත තානාපතිවරිය හමුවූ විදේශ අමාත්‍යතුමා නෙදර්ලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පවතින දිගු කාලීන සබඳතා අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්‍රිජ්ප් මැතිනිය අගෝස්තු 25 වැනි බදාදා කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවූවාය. මෙම සුහද හමුව ආරම්භයේ දීම තානාපති ගොන්ග්‍රිජ්ප් මැතිනිය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවාය.

සාකච්ඡා අතරතුර දී, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගුකාලීන හා සාර්‍ථක සම්බන්ධතාවය සහ එමඟින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාරපාන, සංස්කෘතිය සහ ජීවන රටාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමයේ විවිධ පැතිකඩවලට ද බලපෑම් කර ඇති ආකාරය පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය. රෝම ලන්දේසි නීතියේ උරුමය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ විකාශනය සඳහා දායක වීම සම්බන්ධව අමාත්‍ය පීරිස් මැතිතුමා විශේෂයෙන් සඳහන් කළේය.

සමකාලීන සබඳතා සම්බන්ධයෙන්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අංශවල නෙදර්ලන්තය සමඟ සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම, සම්බන්ධකතාවය හා පුද්ගලයින් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම මෙන්ම, බහුපාර්ශ්වික වේදිකා තුළ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ පවතින දැඩි අධිෂ්ඨානය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා යළි අවධාරණය කළේය.

විදේශ අමාත්‍යවරයාගේ හැඟීම් පුනරුච්චාරණය කරමින්, අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලබන ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින සහජීවනයේ සහ සහයෝගීතාවයේ බොහෝ අංශ පිළිබඳව තානාපති ගොන්ග්‍රිජ්ප් මැතිනිය විස්තර කළාය. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව සමඟ පවතින අඛණ්ඩ සහයෝගීතාවය තුළ වැඩ සටහන්වල දී භාවිතා කෙරෙන, කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදන කර්මාන්තය, සංස්කෘතිය, උරුම කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය යන ක්ෂේත්‍රවල නෙදර්ලන්ත තාක්‍ෂණ විශේෂඥතාව පිළිබඳව තානාපතිවරිය සඳහන් කළාය.

නෙදර්ලන්තය සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ලෙස,  කෘෂිකාර්මික අංශයේ අගය එකතු කළ නිෂ්පාදන හා අපනයන, කිරි නිෂ්පාදන අංශයේ ධාරිතා වර්ධනය හා කාබනික පොහොර භාවිතය සහ ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය පිළිබඳව ද තානාපතිවරිය සඳහන් කළාය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා මෙම සහජීවන ක්ෂේත්‍රයන් පිළිබඳව තවදුරටත් ගවේෂණය කිරීමට එකඟතාවක් ඇති විය.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close