නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය තුර්කි ගුවන් සේවය සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස් සමඟ එක්ව ‘Facets of Sri Lanka’ නමැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සමසත්කාරය ලබා දෙයි

නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය තුර්කි ගුවන් සේවය සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස් සමඟ එක්ව ‘Facets of Sri Lanka’ නමැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සමසත්කාරය ලබා දෙයි

ශ්‍රී ලංකාව සිය සංචාරකයන් වෙත පිරිනමන නොයෙකුත් ආකර්ෂණීය ස්ථාන විදහා දැක්වීමේ වැඩසටහනක් " Facets of Sri Lanka" නමින් 2022 ජූනි 14 වැනි දින නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා දූත මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණි. 

මෙම අවස්ථාවට සහභාගී වූ අමුත්තන් පිරිස පිළිගත් තානාපති පීරිස් මැතිතුමා, මාර්කෝ පෝලෝගේ සංචාරය සිදු වූ අවධියේ පටන් ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් බව ප්‍රකාශ කළ අතර, යුනෙස්කෝ ලෝක උරුම 8 ට ඇතුළත් වන විවිධ ආකර්ෂණීය ස්ථාන, රට වටා පිහිටි වෙරළ තීර, කඳුකරයේ සිසිල් දේශගුණය, සංස්කෘතික උරුම සහ සත්ත්වයන් හා වෘක්ෂලතා ආශ්‍රිත විවිධත්වය පිළිබඳව සඳහන් කළේ ය.

තුර්කි ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී එම්රේ ඉස්මයිලොග්ලු මහතා සහ තුර්කි ගුවන් සේවයේ කලාපීය කළමනාකාර ඇල්ප් ඔසාමාන් මහතා තුර්කි ගුවන් සේවය හා ශ්‍රී ලංකාව අතර ඇති හවුල්කාරිත්වය පිළිබඳව සහ තුර්කි ගුවන් සේවය ලොව පුරා සිටින සිය සේවාදායකයන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළහ. තුර්කි ගුවන් සේවය මේ වන විට ඉස්තාන්බුල් සහ මාලේ හරහා නිව්යෝර්ක් සිට කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් හතක් (7) ක්‍රියාත්මක කොට ඇති අතර, ඔක්තෝබර් මස ආරම්භය වන විට මෙම සංඛ්‍යාව ඉස්තාන්බුල් සිට කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් දාහතරක් (14) වශයෙන් දෙගුණයකින් ඉහළ නැංවීමට නියමිත ය.

ජෙට්වින්ග් ට්‍රැවල්ස් හි සභාපති ශිරෝමාල් කුරේ මහතා සහ විධායක අධ්‍යක්ෂ රාජු අරසරත්නම් මහතා ජෙට්වින්ග් හොලිඩේස් (Jetwing Holidays), ජෙට්වින්ග් එයාර් (Jetwing Air), ජෙට්වින්ග් ඉවෙන්ට්ස් (Jetwing Events), ජෙට්වින්ග් ඇඩ්වෙන්චර් (Jetwing Adventure) සහ ජෙට් ලෙෂර් මෝල්ඩිව්ස් (Jet Leisure Maldives) වැනි ජෙට්වින්ග් අනුබද්ධිත සමාගම් 9කට අධික සංඛ්‍යාවක් ඇතුළත් ශ්‍රී ලංකාවේ ජෙට්වින්ග් හෝටල්වල පවතින දීමනා සහ පහසුකම් පිළිබඳව අවධාරණය කරමින් ඉදිරිපත් කිරීම් සිදු කළහ.

බැසිලූර් තේ නියෝජනය කළ රසික වික්‍රමසිංහ මහතා ‘තේ රස බැලීමේ’ අංගයක් ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් තේවල විවිධත්වය ඇතුළත් විවිධ තේ වර්ගවලින් අමුත්තන්ට සංග්‍රහ කරන ලදි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර දෙකක් මෙන්ම කොළඹ පිහිටි තරු පන්තියේ ජෙට්වින්ග් හෝටල්වල සහ මාලේ හි පිහිටි හෙරිටන්ස් ආරා හි රාත්‍රී 5 ක් ගත කිරීම සඳහා අවස්ථාව පිරිනමන දිනුම් ඇදීමක් ද මෙම වැඩසටහනට ඇතුළත් විය.

ත්‍රෛ-රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන්, නිව්යෝර්ක් හි සිටින තානාපතිවරුන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහ ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

පැමිණ සිටි අමුත්තන්ට ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර සහ බැසිලූර් තේ සංග්‍රහ කරන ලදි.

 

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 ජූනි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close