නිදහසින් පසු කාලය දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා පිළිබඳ කෙටි හැඳින්වීමක්

නිදහසින් පසු කාලය දක්වා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා පිළිබඳ කෙටි හැඳින්වීමක්

වසර  දෙදහසකටත් වැඩි කාලයක් තිස්සේ ස්වාධීනව පැවැති නූතන රාජ්‍ය කිහිපය අතුරින් එක් රාජ්‍යයක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව විශේෂත්වයක් උසුලයි. එම කාල වකවානුවෙන් වැඩි කාලයක් තුළ, ජාත්‍යන්තර කටයුතු ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළ බවද යුක්ති සහගත ලෙස කියාපෑමට ඊට පුළුවන.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ශ්‍රී ලංකාව ප්‍රවිෂ්ට වීම සිදු වූයේ ඓතිහාසික වාතාවරණයක් තුළය. ඒ ක්‍රි.පූ 3 වැනි ශත වර්ෂයේදී මෞර්ය වංශික, බලසම්පන්න අශෝක අධිරාජයා සිය පෞද්ගලික දූතයන් වූ ඔහුගේ පුත් මහින්ද තෙරණුවන් හා දියණිය වන සංඝමිත්තා තෙරණිය අත ශ්‍රී ලංකාවට බුදු දහම එවීම හරහා අශෝක අධිරාජයා සහ ඔහුගේ සමකාලීන ශ්‍රී ලංකා රජු වූ අනුරාධපුරයේ දේවානම්පියතිස්ස රජතුමා අතර වැදගත් සම්බන්ධතාවක් ස්ථාපිත වීමෙනි. ඉන්පසුව බුදු දහම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බවට පත්විය. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බුදු දහමෙහි දෙවැනි උපන්බිම බවට පත් වූ අතර එහි සිට වෙනත් රටවලට බුදු සමය රැගෙන යනු ලැබිණි. එබැවින් සත්‍ය වශයෙන්ම, බුදු දහම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියට  අනුප්‍රාණය සපයන, එහි ප්‍රගාමකයකු බවට පත්විය.

ඉතා වැදගත් භූ දේශපාලනික මාන තුනකින් සමන්විත සුවිශේෂී භූගෝලීය ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. එම භූ දේශපාලනික මාන වනුයේ : ශිෂ්ටාචාර රැසක ආරම්භය සිදුවූ ඉන්දියානු උපමහාද්වීපයට එහි ඇති සමීපත්වය; නැඟෙනහිර ආසියාව හා නැඟෙනහිර අප්‍රිකාව අතර සමදුරින් ශ්‍රී ලංකාව පිහිටා තිබීම නිසා එම කලාප දෙක අතරමැද පිහිටීමේ වාසිය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම; සහ පෙරදිග හා අපරදිග  යා කරන මුහුදු මාර්ග ශ්‍රී ලංකාව හරහා වැටී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව සැබෑ ලෙසම නැඟෙනහිර හා බටහිර අතර සම්බන්ධතාව ඇති කරන භූමියක් බවට පත්ව තිබීම යි. මේ තත්ත්වයන් හැඩගැසී ඇති ආකාරය, ශ්‍රී ලංකාව ලබන ජාත්‍යන්තර කීර්තියෙහි ප්‍රධාන ප්‍රතිෂ්ඨාව ලෙස අද දක්වාම ක්‍රියා කරයි.  එබැවින්, මේ ආකාරයට, මෙම කලාපයෙන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බලපෑම ඇති කෙරෙන ප්‍රදේශයක් බවට පත් විය. මේ තත්ත්වය ක්‍රි.ව. පළමුවැනි සහස්‍රකයේදී විශේෂයෙන් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධතා අඛණ්ඩව වර්ධනය විය.  මුලදී මෙම සබඳතා උතුරු ඉන්දියාව සමඟ පැවැත්වූවද දකුණු ඉන්දීය රාජධානිවල නැගීමත්සමඟම පළමු සහශ්‍රකයේ දෙවැනි භාගයේදී ඉන්දියාව සමඟ වූ ශ්‍රී ලංකා සබඳතාවල කේන්ද්‍රය දකුණු ඉන්දියාව දෙසට විතැන් විය. මෙම හේතුව නිසා ශ්‍රී ලංකාවට දකුණු ඉන්දියානු දේශපාලන බල අරගලවලට පැටලීමට සිදු වූයේය.. ශතවර්ෂ දෙකක කාලයක් මුළුල්ලේ විචක්ෂණශීලීව ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම මඟින්, අඛණ්ඩව පැමිණි තර්ජනවලට මුහුණදීමෙන් අනතුරුව, අවසානයේදී අනුරාධපුර රාජධානිය චෝල අධිරාජ්‍යයට යටත් විය. පසුව, අනුරාධපුරය චෝල පාලනයෙන් මිදුණු මුත්, දකුණු ඉන්දීය රාජධානි වන පාණ්ඩ්‍ය හා විජයනගර ශ්‍රී ලංකාවට අඛණ්ඩ තර්ජනයක් එල්ල කළේය.  එය ශ්‍රී ලංකාවේ රාජධානිවල පරිහානියට හේතු විය.

ශ්‍රී ලංකාව සතුව නාවික ක්ෂේත්‍රයේ පෘථුල විදේශ සබඳතා තිබිණි.  අපරදිගින් රෝම අධිරාජ්‍යය, ග්‍රීක රාජධානි, ඊසානදිග අප්‍රිකාවේ අක්සුම් රාජධානිය,  පර්සියාවේ සසානිද් රාජධානිය, හා බයිසන්තියම් අධිරාජ්‍යයද, සහ පෙරදිගින් ශ්‍රී විජය  සාමුද්‍රික අධිරාජ්‍යය, චීනය, සියම්, කාම්බෝජ හා මියන්මාර යන රාජධානි සමඟත් ශ්‍රී ලංකාව පැවැත්වු  සබඳතා ඊට අයත්ය. ශ්‍රී ලංකාව චීනය සමඟ පැවැත්වූ සබඳතා සුවිශේෂී විය. එම සබඳතා  ක්‍රි.ව. පස්වැනි ශතවර්ෂයේ සිට දහවැනි ශතවර්ෂය දක්වා සියවස් පහක් මුළුල්ලේ පැවති අතර ඒ කාලය තුළ චීන අධිරාජයා වෙත ශ්‍රී ලංකාවෙන් දූත පිරිස් 16ක් යවා ඇත. කලාපයේ සාමුද්‍රික කටයුතුවලදී අතරමැදි වරායක් මෙන්ම ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව එහි උපායමාර්ගික පිහිටීම භාවිතා කළේය. ශ්‍රී ලංකාව මේ හරහා සැබැවින්මකලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානය බවට පත්විය. දිවයිනෙන් සොයා ගනු ලැබූ විවිධ රටවලින් ගෙන ආ වාණිජමය වටිනාකමක් ඇති වස්තු සම්භාරයෙනුත්, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ වරායවල් රැසක් තිබූ බව පෙන්වන, එම වස්තූන් හමුවූ ස්ථානවලිනුත් ඒ බව සනාථ වෙයි. ශ්‍රී ලංකාව අතීතයේදී හඳුන්වනු ලැබූ නම් ගණනාව, එකල ලියැවුණු සංචාරක සාහිත්‍යයේ ශ්‍රී ලංකාවේ නම බහුල වශයෙන් දක්නට ලැබීම සහ ශ්‍රී ලංකාව ආකර්ෂණය කරගත් සුප්‍රසිද්ධ සංචාරකයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ පැරණි නාවික සබඳතා පිළිබඳ වැඩිදුර සාක්ෂි වශයෙන් හැඳින්විය හැකිය. මේ සියල්ල, එකල වූ ප්‍රසිද්ධ දිවයින් අතුරෙන් ශ්‍රී ලංකාවද එකක්ය යනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ටෙනන්ට් ඉදිරිපත් කරන විස්තරය සමඟ සමපාත වේ. ඉස්ලාම් දහමේ වර්ධනයත් සමඟ කලාපයේ අරාබි වෙළෙඳ කටයුතු සඳහා පදනමක් බවට ශ්‍රී ලංකාව පත්විය.

ආසියාවට යුරෝපීයයන් පැමිණීම,  විශේෂයෙන් 15 වැනි ශතවර්ෂයේ ඇරඹි පෘතුගීසීන්ගේ හා හා ලන්දේසීන්ගේ ආගමනය ශ්‍රී ලංකා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළේය. දිවයිනේ දේශපාලන හා වාණිජ කටයුතුවලට මැදිහත්වීමට ඔවුන් දැරූ ප්‍රයත්න හේතුවෙන් එම ජාතීන් සහ මෙරට රාජධානි අතර නිරන්තර ගැටුම් ඇති විය. උඩරට රාජධානිය අල්ලා ගැනීමට කළ අරගලය මෙම සටන්වල  කූටප්‍රාප්තිය විය.  පැරණි කොන්ස්තන්තිනෝපලය මෙන් උඩරට රාජධානියද දිගින් දිගටම එල්ල වූ ආක්‍රමණවලින් නොසැලී සිටියද  බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට මුළු ඉන්දියාවම නතු වීමත් සමඟම 1815 දී ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලනයට යටත්වීමට සිදුවිය.

බ්‍රිතාන්‍ය පාලනය වසර 150ක් මුළුල්ලේ පැවැති අතර එය මුළු දිවයිනම විදේශීය ආධිපත්‍යයකට නතු වූ  පළමුවැනි අවස්ථාව විය. නිදහසේ 50වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, ප්‍රත්‍යාවලෝකනයෙන් බලන කලබ්‍රිතාන්‍ය පාලනය පිළිබඳව සාධාරණ තීන්දුවක් දෙන්නේ නම් පැවසිය හැක්කේ සෑම විදේශීය පාලනයක මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයේද දුර්වලතා හා සීමා පැවති බවයි. එහෙත් දේශපාලන වශයෙන් දෙන ලද ධනාත්මක දායකත්වය මඟින් ආර්ථික හා සංස්කෘතික අංශ ඔස්සේ එම දුර්වලතා සහ සීමා සමබර කරන්නට හෝ ඒවා මඟ හරවා ගන්නට කටයුතු කෙරිණි. එම දායකත්වය වූයේ, බ්‍රිතාන්‍ය පාලනය විසින් උදා කර දෙනු ලැබූ සාමය, පරිපාලනමය වශයෙන් රට එක්සත් කිරීම, ව්‍යවස්ථාදායක ආයතන පිහිටුවීමෙන් ලබා දුන් දේශපාලන අත්දැකීම, නීතියේ ආධිපත්‍යය, යැපුම් ආර්ථිකයක් වුව වාණිජ ආර්ථිකයක් වර්ධනය කිරීම, සහ නිදහස ලැබෙන විට ඊට රට සූදානම් කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමෙන් බටහිර අධ්‍යාපනය ලැබූ බුද්ධිජීවීන් කොටසක් නිර්මාණය කිරීම ආදියයි.

ව්‍යවස්ථාදායක සභාව හා රාජ්‍ය මන්ත්‍රණ සභාව වැනි දේශපාලන ආයතන අනාගත නායකයන් ස්වයං පාලනය පිළිබඳ අධ්‍යාපනය ලබන ආයතන බවට පත් විය. . අතීත නායකයන් තුළවූ දේශපාලන පරිණතභාවය හේතුවෙන් 1948 වර්ෂයේදී ලේ වැගිරීම්වලින් තොර මිත්‍රශීලී බල මාරුවක් සිදුකිරීමට හැකිවිය. විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම හෝ විදේශ සබඳතා පැවැත්වීම හෝ සඳහා  බ්‍රිතාන්‍ය පාලනයෙන් විශේෂ පුහුණුවක් සපයනු නොලැබුවද ශ්‍රී ලංකාවේ ප්‍රථම තානාපතිවරුන් අතරින් කිහිප දෙනකු මන්ත්‍රණ සභාවේ කෘතහස්තයන් වීම විශේෂත්වයකි.

1948 වසරේ නිදහස ලබාගැනීමත් සමඟම කලාපයේ එකල පැවැති අර්බුදකාරී වාතාවරණය තුළ,  දිවයිනෙහි වූ සංවේදී භූ දේශපාලන තත්ත්වය ගැන සලකා බලන විට විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත් කරුණක් බවට පත්විය. අතීත යටත් විජිත පාලකයා වන එක්සත් රාජධානිය සමඟ ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම පසුපස වූ හේතුව මෙමගින් පැහැදිලි වේ. විදේශ ප්‍රතිපත්තිය සතු සුවිශේෂී වැදගත්කම හුවා දැක්වුණු තවත් සාධකයක් වූයේ විදේශ කටයුතු විෂය පථය අග්‍රාමාත්‍යවරයාගේ භාරයට පවරා ගැනීමය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විමසීමේදී එය අවදි කිහිපයකට බෙදා වෙන්කර දැක්විය හැකිය.

ඉන් පළමුවැන්න වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල අවධිය පෙන්වා දිය හැකිය. මෙම අවධියේ සිදුවූ විශේෂ සිදුවීම් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව තීරණය කිරීම, අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා පොදු රාජ්‍ය මණ්ඩලයට සම්පූර්ණ සහයෝගය ලබාදීම, එක්සත් රාජධානිය සමඟවූ ආරක්ෂක ගිවිසුම, කොළඹ ක්‍රමය හඳුන්වාදීම, සහ 1950 වසරේ කොළඹදී පැවති විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ගන්නා ලද තීරණවලට අනුකූලව,  1951 වසරේ පැවති සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව තුළ ශ්‍රී ලංකාව නිරූපණය කළ  භූමිකාව ආදිය පෙන්වා දිය  හැකිය. අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයත් සමඟම පාහේ මෙම අවදිය නිමාවට පත්වූ අතර කලාපීය අවදිය ලෙස හඳුන්වා දිය හැකි අවදියට ශ්‍රී ලංකාවප්‍රවේශ විය.

සතුරුබව දැක්වීමේ අරමුණෙන් නොව, වෙනත් රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේ මං සොයා බැලීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව බටහිර රටවල්වලින් ඉවතට හැරීමේ මූලාරම්භය දෙවැනි අදියරේදී සනිටුහන් විය. ආසියානු අනන්‍යතාවක් සොයා යෑම මේවන විටත් ඇරඹී තිබිණි. එය 1947 දී ප්‍රථමවරට  පුරාණා ඛිලාහිදී ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාව චීනය සමඟ ඇතිකරගත් රබර් - සහල් ගිවිසුම විප්ලවකාරී ක්‍රියාවක් විය. එයට හේතුව එම ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රසාදයට හේතු වීමයි. ආසියානු අනන්‍යතාවක් සොයායෑමේ ගමනෙහි වැදගත් පියවරක් වූ කොළඹ බලවතුන්ගේ රැස්වීම අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් පවත්වන ලදී. එම රැස්වීම අදහස් හුවමාරු කරගැනීමෙන් ඔබ්බට නොගියද, 1954 වසරේ පැවැති ඉන්දු-චීනය පිළිබඳ ජිනීවා සමුළුව කෙරෙහි එය බලපෑමක් කළේය. කොළඹ බලවතුන්ගේ රැස්වීමට පසුව තවත් ඉතා වැදගත් රැස්වීමක් පැවැත්විණි. අප්‍රිකා ආසියානුවාදයෙහි පිබිදීමට සහ පසුකාලීනව නොබැඳි පිළිවෙත ඇතිවීමට හේතුවූ 1955 බැන්ඩුන් සමුළුව කොළඹ බලවතුන්ගේ රැස්වීමේ ප්‍රතිඵලයක් විය. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ විදේශ ප්‍රතිපත්තිය ඔහුගේ පෞරුෂය මෙන් ශක්තිමත් හා ක්‍රියාශීලී විය. ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් පෙන්නුම් කිරීමේ අරමුණින් හා ශ්‍රි ලංකාව පිළිබඳ වැරදි ආකල්ප දුරු කිරීමේ අරමුණින් ඔහු බොහෝ රටවල සංචාරය කිරීමෙන් එය පැහැදිලි වේ. විදේශ ප්‍රතිපත්තියේ මීළඟ අවදිය ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ ලිබරල්වාදී අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා බැඳී පවතියි. මේ අවධිය අතීතයෙන් දැඩිලෙස වෙනස් වූ අවදියක් ලෙස දැක්විය හැකිය. ඔහු එක්සත් රාජධානිය සමඟ වූ ආරක්ෂක ගිවිසුම අවලංගු කළ අතර පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දැක්වීය. මෙය බටහිර කෙරෙහි අප්‍රසාදය පළකිරීමක් නොවූ අතර සාර්වත්‍රිකත්වය ශ්‍රී ලංකාවට ගැළපෙනම විදේශ ප්‍රතිපත්තිය ලෙස ඔහු දුටු හෙයිනි. ශ්‍රී ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය වීමට හැකි බව ඔහු විශ්වාස කළේය. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ශ්‍රේෂ්ඨ ආසියානු චින්තකයකු වන අගමැති බණ්ඩාරනායක මහතා, , ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට පවා ජාත්‍යන්තර ගැටලුවිසඳා  නිරවි යුද ලෝකයේ සාමය හා සමගිය ස්ථාපිත කිරීම උදෙසා දායක විය හැකි ලෝක පිළිවෙතක් පිළිබඳව අදහස් පළ කළේය. මධ්‍යස්ථ ක්‍රියාකලාපයක් මඟින් තුන්වැනි ලෝකයේ රටවලට ජාත්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීමෙහිලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මැදිහත් භූමිකාවක් නිරූපණය කළ හැකි බවට ඔහු හා ජවහර්ලාල් නේහ්රූ මහතා විශ්වාස කළහ. විවෘත රාජ්‍ය තාන්ත්‍රික භාවයක් පෙන්නුම් කිරීමේ අරමුණින් කොමියුනිස්ට් ලෝකය තුළ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පිහිටුවීම පිළිබඳ ඔහුගේ අදහස බණ්ඩාරනායක මහතාගේ සාර්වත්‍රික පිළිවෙත පෙන්නුම් කරන්නකි.

නිදහසින් පසු ශ්‍රි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ මීළඟ අවදිය සම්පූර්ණයෙන්මනොබැඳි පිළිවෙතින් පිරී තිබෙයි. නොබැඳි පිළිවෙත ප්‍රවර්ධනය කිරීමෙහිලා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැදගත් කාර්යභාරයක් ඉටුකළාය. ඇයගේ ප්‍රථම ධුර කාලයේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස චීන - ඉන්දීය දේශසීමා ගැටුම විසැඳීමට උපකාරීවීම සඳහා රාජ්‍ය නායකයන් සය දෙනකුගේ රැස්වීමක් ඇයගේ මැදිහත්වීම මත කැඳවීම දැක්විය හැකිය. මෙම රැස්වීම 1962 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී පවත්වනු ලැබිණි. මේ සම්බන්ධයෙන් ඇය අදාළ පාර්ශ්ව සියල්ලගේම පැසසුමට ලක්වූවාය. ඇය ලද තවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සිරිමා- ශාස්ත්‍රි ගිවිසුම දැක්විය හැකිය. මෙම ගිවිසුම හරහා, ශ්‍රී ලංකාවේ වෙසෙන  ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව පැවති අර්බුදයක් විසැඳීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හැකිවිය. අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ පස් අවුරුදු පාලනයෙන් පසුව එළැඹි ඇයගේ දෙවැනි ධුර කාලය තුළ නොබැඳි පිළිවෙත සැබැවින්ම ප්‍රබෝධමත් විය. මේ කාලය තුළ සිදුවූ වැදගත් සිදුවීම් ලෙස 1971 වර්ෂයේ ඉන්දියානු සාගර සාම කලාපීය යෝජනාව, පෝක් සමුද්‍ර සන්ධියෙහි කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඇතිවූ ආරවුල විසැඳීම හා 1976 සැප්තැම්බර් මස පැවැති කොළඹ නොබැඳි සමුළුව දැක්විය හැකිය. මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය ලෝකයේම ප්‍රශංසාවට ලක්විය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්වමින් අගමැති බණ්ඩාරනායක මැතිනිය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වූවාය.

ජනාධිපති ජයවර්ධන මහතාගේ පාලනය යටතේ පැවැති ඊළඟ අවදිය තනි ශීර්ෂයක් යටතේ විස්තර කළ නොහැකිය. ඊට හේතුව එය විවිධ මානයන්ගෙන් යුක්තවීම සහ සිද්ධි ගණනාවකින් සමන්විත වීමයි. ඒවා නම්,  පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ පැවති සම්බන්ධතා, කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානය ආරම්භ කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මත තැබූ විශ්වාසය, ලෝක නිරායුධකරණය පිණිස වු ඔහුගේ යෝජනාවේ සඳහන්ව ඇති පරිදි නිරායුධකරණය සඳහා ඔහු තුළ වූ කැපවීම ආදියයි.

ජාතියේ ඉදිරිදැක්ම හා අනාගතය වෙනස් කිරීමට හේතුවී ඇති විවෘත ආර්ථිකය හඳුන්වාදීම ඔහුගෙන් සිදුවූ වඩාත් කැපී පෙනෙන සේවාව ලෙස හැඳින්විය හැකිය.

ආචාර්ය වර්නන් මෙන්ඩිස්

දේශමාන්‍ය ආචාර්ය වර්නන් මෙන්ඩිස් මහතා, එවක ලංකා විදේශ සේවය යනුවෙන් හඳුන්වනු ලැබූ  ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවය ආරම්භ කිරීම සඳහා 1949 වසරේදී බඳවා ගනු ලැබූ පළමුවැනි කණ්ඩායමේ  නිලධාරියෙකි.

*(උක්ත උපුටනය ආචාර්ය වර්නන් මෙන්ඩිස් මහතා විසින් රචිත, 1998 වසරේ පෙබරවාරි මස විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද ʺශ්‍රී ලංකාවේ විදේශ කටයුතු : 1994 1998 කාලය තුළ ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳ සමාලෝචනයක් හා නිදහසින් පසු කාලයේ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල විශේෂ සිදුවීම්ʺ යන කෘතියෙන් උපුටාගන්නා ලද්දකි.)

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close