නැසී ගිය කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මිලාන්හි දී ආගමික වතාවත් පැවැත්වේ

 නැසී ගිය කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මිලාන්හි දී ආගමික වතාවත් පැවැත්වේ

රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින ඉතාලියේ දී අභාවප්‍රාප්ත වූ කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා 2022 ජනවාරි 22 වැනි දින, ඉතාලියේ මිලාන් හි පිහිටි කාසා ෆියුනරාරියා අවමංගල්‍ය ශාලාවේ දී ආගමික වතාවත් පවත්වන ලදී.   නැසී ගිය කොන්සල් ජනරාල්වරියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා, මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එතුමියගේ දයාබර සැමියා වන කපිල හේරත් මහතා, ඥාතීන්, කොන්සල්වරයා ඇතුළු කොන්සල් ජනරාල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සමාජිකයන් සමඟ එක්ව මෙම ආගමික වතාවත් සංවිධානය කළේ ය.

ඉතාලියේ ප්‍රධාන සංඝනායක සහ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත, පූජ්‍ය මහගම විපුලසිරි නාහිමිපාණෝ නැසී ගිය කොන්සල් ජනරාල්වරිය සඳහා පාංශුකූල ලබා දුන් අතර, ඉන් අනතුරුව එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ධර්ම දේශනාවක් ද පැවැත්වූ හ. ශ්‍රී ලාංකික ජනතාවගේ ආදරය හා ගෞරවයට පාත්‍ර වූ කීර්තිමත් කලාකාරිනියක වශයෙන්, නැසී ගිය විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය ජාතියට ඉටු කළ මහඟු මෙහෙවර නායක හිමියෝ මෙහිදී සිහිපත් කළහ. කොන්සල් ජනරාල්වරියගේ මෙම හදිසි අභාවය ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම මිලානෝ නුවර සහ උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ද මහත් පාඩුවක් වන බවද නායක හිමියෝ සඳහන් කළහ. යුරෝපයේ ප්‍රධාන සංඝනායක සහ ඇතන්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය එළුවාපොළ පඤ්ඤරතන හිමියන් විසින් අනුශාසක දෙසුමක් ඉදිරිපත් කරන ලදී. මෙම ආගමික වතාවත් සඳහා මිලානෝ ධර්මනිකේතනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පැල්ගහතැන්නේ සීලවිමල හිමි සහ මිලානෝ ලංකාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය වැවබැද්දේ සුනීත හිමියෝ ද සහභාගී වූහ. ඉතාලියේ වෙසෙන කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් ගරු දේශාන් පෙරේරා පියතුමා විසින් කතෝලික යාච්ඤා මෙහෙයක් පවත්වනු ලැබූ අතර, ප්‍රින්කී රොසාන් අප්පුහාමි පියතුමා ද  මෙම අවස්ථාවට සහභාගි විය.

නැසී ගිය කොන්සල් ජනරාල්වරිය සහ තමන් මිලානෝ නුවරට පැමිණි දින සිට, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එතුමිය වෙත පිරිනැමූ අවංක සහය වෙනුවෙන්, එතුමියගේ සැමියා වන කපිල හේරත් මහතා මෙම ආගමික වතාවත් නිම වීමෙන් අනතුරුව සිය කෘතඥතාව පළ කළේ ය. නැසී ගිය කොන්සල් ජනරාල් තුමිය සිය ධුර කාලය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඉටු කිරීමට අදහස් කළ සේවාව මෙන්ම, ශ්‍රේෂ්ඨ කලාකාරිනියක වශයෙන් එතුමිය තුළ තිබූ සංවේදී බව ද මෙහිදී ඔහු සඳහන් කළේ ය. හේමන්ත පීරිස් මහතා ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් සිය අදහස් දැක්වී ය.

නැසී ගිය කොන්සල් ජනරාල්තුමියගේ දේහය මෙම සතියේ මුල ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටියි.

මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඉතාලිය

2022 ජනවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close