නාවික ක්ෂේත්‍රයේ වැඩිදුර සහයෝගිතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

නාවික ක්ෂේත්‍රයේ වැඩිදුර සහයෝගිතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශය සමඟ සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඊයේ දිනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා සමඟ  පවත්වන ලද හමුවේ පසු විපරමක් වශයෙන්, අමාත්‍ය මණ්ඩල මට්ටමේ ධුරයක් දරන, නාවික රාජ්‍ය අමාත්‍ය කලීඩ් චෞද්රි මැතිතුමා සමඟ අද (16) දින සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගිතාව සඳහා තෝරාගත් ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් වන්නේ නාවික කටයුතුයි. ගල්ෆ් සහ මධ්‍යධරණී කලාපයට ප්‍රවේශ වීම සදහා ශ්‍රී ලංකාවේ පිහිටි නැව් මාරු කිරීමේ මධ්‍යස්ථානයක් භාවිතයට ගතහොත් කාලය සහ මූල්‍ය සම්පත් යන දෙකම ඉතිරි වන බවත්, චිතගොං සහ ශ්‍රී ලංකා වරායන් අතර වැඩි දියුණු වූ සහයෝගිතාවයක් පැවැත්වීම මගින් දෙරටටම ජයග්‍රාහී තත්වයක් උදා කර ගත හැකි බවට අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ කලීඩ් චෞද්රි මැතිතුමා එකඟ විය. ජපානයේ සහය සහිතව ගැඹුරු මුහුදු වරායක් ලෙස සංවර්ධනය වෙමින් පවතින කොක්ස් බසාර් දිස්ත්‍රික්කයේ පිහිටි මටාර්බරි ඇතුළු තවත් වරායන් කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා වන මුල පිරීම් ද ඇතුළුව බංග්ලාදේශයේ නැව් ගමනාගමන විෂයට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය ලබා දෙන වත්මන් දායකත්වයේ වැදගත්කම පිළිබඳව බංග්ලාදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අවසන් වරට පවත්වන ලද රැස්වීම 2014 වර්ෂයේ දී ඩකා නුවර දී පැවැත්වූ බැවින් මීළඟ පියවර ලෙස ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම කඩිනමින් කැඳවිය යුතු බව අමාත්‍යවරු තීරණය කළහ. 2022 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ කොළඹ දී හමුවක් පැවැත්වීමට යෝජනා කෙරිණි. ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම ඉක්මනින් කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන බව අමාත්‍ය පීරිස් මැතිතුමා  ප්‍රකාශ කළේ ය. කොළඹ දී පැවැත්වීමට නියමිත හමුවේ න්‍යාය පත්‍රයේ අඩංගු විෂයයන් අතර පෝෂක සේවා සම්බන්ධ ගැටළු මෙන්ම සවිස්තරාත්මක වෙරළබඩ නාවික ගිවිසුමකට එළඹීම යනාදිය ඇතුළත් වේ.

දෙරට අතර පවතින ශක්තිමත් ආර්ථික සහයෝගීතාව පිළිබඳව සෑහීමකට පත් වූ අමාත්‍යවරු දෙදෙනා, සිය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා නාවික අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් සැලකූහ.

විදේශ අමාත්‍යංශය
කොළඹ

2021 නොවැම්බර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close