දෝහා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දින සංවත්සරය සමරයි

දෝහා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දින සංවත්සරය සමරයි

දෝහා කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි මස 04 වන දින නිදහසේ 74 වැනි සංවත්සරය තානාපති කාර්යාල පරිශ්‍රයේදී කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සැමරීය.

ජාතික ධජය එසවීමෙන් සහ ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව නිදහස් දින උත්සවය ආරම්භ වූ අතර, අපගේ මාතෘභූමිය නිදහස් කර ගැනීම සඳහා දිවි පිදූ සියලුම දේශප්‍රේමීන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම ඉන් අනතුරුව සිදුවිය. බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික ආගම් නියෝජනය කරන සර්ව ආගමික සම්භාවනීය අමුත්තන් විසින් ශ්‍රී ලංකාවට, එහි නායකයින්ට සහ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ආශිර්වාද පතා සර්ව ආගමික වතාවත් පවත්වන ලදී.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ නිදහස් දින පණිවුඩ තානාපති කාර්යාල නිලධාරීන් විසින් ප්‍රකාශ කරනු ලැබීය. සහභාගි වූ පිරිස ඇමතූ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති එම්.මෆාස් මොහිදීන් මහතා “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් “ යන තේමාව යටතේ මෙවර සමරනු ලැබූ 74 වැනි ජාතික නිදහස් දින උළෙලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සිදු කෙරුණු ජාතිය ඇමතීමට සමගාමීව, එම දිනයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපති මෆාස් මහතා, වත්මන් ගෝලීය කොවිඩ්-19 වසංගතයේ අහිතකර බලපෑමෙන් මිදී ඉන් එල්ල වන තර්ජන ජය ගනිමින් ආර්ථිකය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයට සහාය වීමට කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අඛණ්ඩ කැපවීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවයන් අගය කළ තානාපති මාෆාස් මහතා, කටාර් රාජ්‍යයේ රජු, අති උතුම් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි, රාජකීය නායක අති උතුම් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි යන ප්‍රභූවරුන් මෙන්ම කටාර් රාජ්‍යයේ මිත්‍රශීලී ජනතාව වෙත ඔවුන්ගේ නිරන්තර සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ප්‍රණීත ආහාරපාන සංග්‍රහයකින් අනතුරුව මෙම වැඩසටහන නිමාවට පත්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2022 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close