දෙරට අතර වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා - ඕමාන ජාතික වාණිජ මණ්ඩල අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

දෙරට අතර වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා – ඕමාන ජාතික වාණිජ මණ්ඩල අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ඕමානයේ සුල්තාන් රාජ්‍යය අතර වෙළඳාම හා ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සහ ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OCCI) ජූලි 7 වැනි දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති නන්දික බුද්ධිපාල මහතා සහ ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු රෙඩා ජුමා අල් සාලේ මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ. මස්කට්හි ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩල මූලස්ථානයේ දී පැවති මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා වෙත අවබෝධතා ගිවිසුමේ අත්සන් තබන ලද පිටපත එහි සභාපතිවරයා විසින් චාරිත්‍රානුකූලව භාර දෙන ලදී. ශ්‍රී ලංකාවේ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ෂෙයික් ජුමා බින් හමාදාන් අල්ෂේහි මැතිතුමා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා අතථ්‍ය ලෙස සම්බන්ධ විය. අවබෝධතා ගිවිසුමට චාරිත්‍රානුකූලව අත්සන් තැබීමෙන් අනතුරුව ව්‍යාපාරික සංසදයක් සහ ව්‍යාපාර අතර ගැලපුම් සැසියක් ද පැවැත්විණි.

ව්‍යාපාරික සංසදය විවෘත කළ ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති එන්. රෙඩා ජුමා අල් සාලේ මහතා, ජාතික වාණිජ මණ්ඩල දෙක අතර අවබෝධතා ගිවිසුමේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, මේ වසරේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම තුළින් ඉදිරි වසරවල දී දෙරට අතර වෙළඳාමේ පරිමාව ඉහළ නැංවීමට සහ වෙළඳ හුවමාරු හා ආයෝජන හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳ නව පුළුල් ක්ෂේත්‍රයක් විවර වනු ඇති බව ප්‍රකාශ කළේය.

දෙරට අතර වර්තමාන ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජන මට්ටම දෙරටේ පවතින ද්විපාර්ශ්වික ආර්ථික අවස්ථාවන්හි සැබෑ විභවය පිළිබිඹු නොකරන බවත්, මෙම මිත්‍ර රටවල් දෙකටම ප්‍රතිලාභ සැලසීම සඳහා වෙළඳ හා ආයෝජන ශක්තිමත් කිරීම පිණිස දෙරටේ ජාතික වාණිජ මණ්ඩල දෙක අතර ඍජු සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරනු ඇති බවත් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති නන්දික බුද්ධිපාල මහතා පිළිගැනීමේ දේශනයේ දී මෙම අවබෝධතා ගිවිසුමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, එය දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් සම්බන්ධ කරන පාලමක් වනු ඇති බව ප්‍රකාශ කළේය.

ඉහළ මට්ටමේ කථිකයින් විසින් ව්‍යාපාරික සංසදය අමතන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සංජය මොහොට්ටාල මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සුරේෂ් දයානාත් ද මෙල් මහතා, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) සභාපති සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ආයුර්වේද රත්න අශෝක හෙට්ටිගොඩ මහතා විසින් ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරන ලදී. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉබ්‍රාහිම් අල් මාමාරි මහතා, කෘෂිකර්ම, ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශයේ මහමුද් අල් සියාබි මහතා සහ විශේෂ ආර්ථික කලාප සහ නිදහස් කලාප සඳහා මහජන අධිකාරිය වන තුරායා අල් සරෆියා මහත්මිය ඕමානි පාර්ශ්වය නියෝජනය කළහ. දෙපාර්ශ්වයේම සම්භාවනීය කථිකයෝ දෙරටේ ව්‍යාපාරික සහයෝගීතාව සහ සහයෝගීතාව සඳහා පවතින අවස්ථාවන් පිළිබඳ තොරතුරු බෙදාහදා ගත්හ. අත්සන් තැබීමේ උත්සවයේ සහ ව්‍යාපාරික සංසදයේ සම්පූර්ණ වීඩියෝ සබැඳිය මෙතැනින් ලබා ගත හැකිය:

https://youtu.be/K1VGFUkbxHI

මෙම සංසදයෙන් අනතුරුව ශ්‍රී ලාංකික සමාගම් සහ ඕමානි සමාගම් අතර ව්‍යාපාර ගැලපුම් සැසිය පැවැත්විණි. සෞඛ්‍ය, කෘෂිකාර්මික, ආහාර, ගොවිතැන්, සංචාරක කටයුතු, බෝට්ටු තැනීම, ධීවර, ඇඟලුම් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන අංශ ව්‍යාපාර අතර ගැලපුම් සඳහා හඳුනාගෙන ඇති හා අවධානය යොමු කළ අංශවලට ඇතුළත් වේ. දෙපාර්ශවයේම සමාගම් 100 කට අධික සංඛ්‍යාවක් මෙම සැසිය සඳහා ලියාපදිංචි වී ඇති අතර, දෙරටේ පෞද්ගලික අංශ අතර ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගැනීමේ අරමුණින් යුතුව අංශ අනුව ව්‍යාපාර අතර අන්තර්ක්‍රියාකාරිත්වයන් පවත්වන ලදී.

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 40 වැනි සංවත්සරය සැමරීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “ලාංඡන කටුවක්” තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජි. රෙඩා අල් සාලේ මහතා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය ද මෙහි දී තානාපතිවරයා සමඟ එක්වූවාය.

මෙම අවස්ථාව සඳහා ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික අලි හම්දාන් හසන් අල් අජ්මි මහතා, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අල්ෆදාල් අල් හිනායි මහතා, සංවිධාන හා ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ හරිතා සලීම් අල් බුසයිඩි මහත්මිය සහ ෂෙයිකා අල් අලවි මහත්මිය මස්කට් හි ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ මූලස්ථානය වෙත පැමිණ සිටියහ. ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයේ මහලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී බන්දුල දිසානායක මහතා සහ ව්‍යාපෘති විධායක නිශාන්ති දිල්රුක්ෂි මහත්මිය කොළඹ ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය වෙනුවෙන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 ජුනි මස 13වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close