දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් දොරයිසාමි වෙන්කටේෂ්වරන් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා සහයෝගීතා අවස්ථා පිළිබඳ අපේක්ෂාවෙන් යුතුව කර්ණාටක ප්‍රාන්තයේ සංචාරය කරයි

දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් දොරයිසාමි වෙන්කටේෂ්වරන් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා සහයෝගීතා අවස්ථා පිළිබඳ අපේක්ෂාවෙන් යුතුව කර්ණාටක ප්‍රාන්තයේ සංචාරය කරයි

නිල වශයෙන් හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාව සඳහා විවිධ සහයෝගීතා අවස්ථාවන් පිළිබඳ සොයා බැලීම පිණිස එතුමාගේ කොන්සියුලර් බල ප්‍රදේශයේ රාජ්‍ය නායකයින් වෙත ළඟාවීමේ අරමුණින් යුතුව, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය දොරයිසාමි වෙන්කටේෂ්වරන් මැතිතුමා ජූනි මස කර්ණාටක ප්‍රාන්තය වෙත පැමිණ, ඉහළම දේශපාලන මට්ටමේ  සම්භාවනීය රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ රැස්වීම් මාලාවක් පැවැත්වීය.

තම නිල කටයුතු ආරම්භ කරමින්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී බී.එස්. යෙඩියුරප්පා මැතිතුමා ජුනි 16 වැනි දින බෙංගලූරු හි පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමුවිය.

පාලක භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ සිව් වතාවක් කර්නාටක ප්‍රාන්තයේ මහඇමති බවට පත්වූ එකම පුද්ගලයා වන මහ ඇමති යෙඩියුරප්පා මැතිතුමා, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ නව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත්තේය. දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර ආවරණය කරමින්, කර්ණාටක ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද මහ ඇමතිවරයාට ආරාධනා කළේය.

පසුව, කර්ණාටක ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලෙස මහ ඇමතිවරයා විසින් කරන ලද ආරාධනයට අනුව, කර්ණාටක වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ඔවුන් සමඟ එක් විය. වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කර්ණාටක වාණිජ මණ්ඩලයේ නියෝජිතවරු චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගියහ.

එදිනම, නියෝජ්‍ය මහ කොමසාරිස් වෙන්කටේෂ්වරන් මැතිතුමා බෙංගලූරු හි රාජ් භවන් හි පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී කර්ණාටක ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශ්‍රී වජුභායි වාලා මැතිතුමා හමුවිය.නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා තමාව ආණ්ඩුකාරවරයා හට නිල වශයෙන් හඳුන්වා දුන්නේය.

කීර්තිමත් වෘත්තියක් සහිත දේශපාලනඥයෙකු වන ආණ්ඩුකාර වාලා මැතිතුමා, ශ්‍රී ලංකාවේ ප්‍රවණතා සහ විශේෂයෙන් රාමායණ පියමඟ පිළිබඳව නියෝජ්‍ය මහ කොමසාරිස් වෙන්කටේෂ්වරන් මැතිතුමා සමඟ දීර්ඝ සංවාදයක නිරත විය. කර්ණාටක ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර කාබනික හා තිරසාර කර්මාන්තවලට අදාළ තාක්ෂණයන් හුවමාරු කර ගැනීම පිළිබඳව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කතා කළේය.

කර්ණාටක  ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා කැමැත්ත පළ කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් පහසු අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස් වෙන්කටේෂ්වරන් මැතිතුමා ශ්‍රී වාලා මැතිතුමාට ආරාධනා කළේය. ආණ්ඩුකාරවරයා ඓතිහාසික රාජ් භවන් ගොඩනැගිල්ල නැරඹීම සඳහා ද ශ්‍රී ලංකා තානාපතිවරයා ද කැටුව ගියේය.

පසුව සවස් වරුවේ දී ආචාර්ය දොරයිසාමි වෙන්කටේෂ්වරන් මැතිතුමා කර්ණාටක ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායක ශ්‍රී සිද්ධරාමයියා මැතිතුමා බෙංගලූරු හි පිහිටි එතුමාගේ නිල නිවසේ දී නිල වශයෙන් හමුවිය. කර්ණාටක ප්‍රාන්තය වඩාත්ම ශක්තිමත් අංශ වන විද්‍යාව හා තාක්‍ෂණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය යන අංශ සමග දකුණු ඉන්දියාව සමග සහයෝගිතාව වර්ධනය කිරිමට ඔවුහු අදහස් හුවමාරු කරගත්හ.

කර්ණාටක  ප්‍රාන්තයේ නිරත වූ සංචාරයේ දී දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය එච්. හලප්පා මැතිතුමා, මහ ඇමති ලේකම් ආචාර්ය එස්. සෙල්වකුමාර් මහතා සහ කර්ණාටක රජයේ අතිරේක ප්‍රධාන ලේකම් ආචාර්ය රාජ්කුමාර් ඛත්‍රි මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ඉන්දියාවේ නිරිතදිග කලාපයේ පිහිටා ඇති කර්ණාටක  ප්‍රාන්තය, ඉන්දියාවේ වඩාත්ම සමෘද්ධිමත් රාජ්‍යයක් බවට විශ්වාස කෙරේ. සියලුම ඉන්දියානු ප්‍රාන්ත අතර සිව්වන විශාලතම ආර්ථිකය කර්ණාටක ප්‍රාන්තය සතු වන අතර, එහි අගනුවර වන බෙංගලූරුව ආසියාවේ සිලිකන් නිම්නය ලෙස හැඳින්වෙන්නේ එහි සමෘද්ධිමත් තොරතුරු තාක්ෂණ කර්මාන්තය හේතුවෙනි. ශ්‍රී ලාංකික සිසුන් විශාල සංඛ්‍යාවක් කර්ණාටක විශ්ව විද්‍යාලවල වෛද්‍ය, කලා සහ වෙනත් අංශවල උසස් අධ්‍යාපනයේ නිරතව සිටිති.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 ජූලි 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close