තායිලන්තයේ මහචූලලොංකෝන් රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ (MCU) රූපවාහිනිය උතුම් වූ දළදා වහන්සේගේ ඇසළ පෙරහරේ රන්දෝලි මංගල්‍යයේ සජීවී විකාශය ප්‍රථම වරට ඉදිරිපත් කරයි

තායිලන්තයේ මහචූලලොංකෝන් රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ (MCU) රූපවාහිනිය උතුම් වූ දළදා වහන්සේගේ ඇසළ පෙරහරේ රන්දෝලි මංගල්‍යයේ සජීවී විකාශය ප්‍රථම වරට ඉදිරිපත් කරයි

ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සහ තායිලන්තයේ මහාචූලලොංකෝන් රාජවිද්‍යාලය විශ්ව විද්‍යාලය (MCU) සමඟ සහයෝගයෙන් යුතුව, තායිලන්තයේ බැංකොක්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා වර්ණවත් සංස්කෘතික උත්සවය වූ ඇසළ පෙරහරේ රන්දෝලි මංගල්‍යයේ ප්‍රථම සජීවී විකාශය 2021 අගෝස්තු 22 දින තායි භාෂාවෙන් එම්සීයූ ටීවී නාලිකාවෙන් ඉදිරිපත් කළේය. තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් සඳහා, ඇසළ පෙරහර රන්දෝලි මංගල්‍යය MCU රූපවාහිනියට අමතරව, මහචූලලොංකෝන් රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය වේදිකා තුළ ද තායි භාෂාවෙන් සජීවීව විකාශය කෙරිණි.

ථෙරවාදී බුද්ධාගම ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට හඳුන්වා දෙන ලද අතර, තායිලන්තයේ එය ‘ලංකාවංශය’ යනුවෙන් හැඳින්වේ. පසුව යටත්විජිත සමයේ දී, ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පදනම දුර්වල වූ අවස්ථාවේ දී, එවකට ‘සියම’ ලෙස හැඳින්වූ තායිලන්තයේ ආයුත්තයා නගරයේ සිට අති පූජ්‍ය ප්‍රා උපාලි ස්වාමීන් වහන්සේ පැවිදි උපසම්පදා සම්ප්‍රදාය නැවත ස්ථාපිත කළ අතර, එය ශ්‍රී ලංකාවේ ‘සියම් නිකාය’ ලෙස හැඳින්වේ. අද ශ්‍රී ලංකාවේ මහනුවර සහ තායිලන්තයේ ආයුත්තයා සහෝදර නගර ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ඇසළ පෙරහර රන්දෝලි මංගල්‍යය කාම්බෝජයේ සහ ලාඕසයේ කෙමර් සහ තායි භාෂාවලින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළ ද සජීවීව විකාශය කෙරිණි.

බොහෝ සංචාරක සීමාවන් ක්‍රියාත්මකව පවතින මෙම කොවිඩ්-19 වසංගතය අතරතුර දී, මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ සජීවී විකාශනය නැගෙනහිර ආසියාවේ බෞද්ධ සැදැහැවතුන් සඳහා ආශීර්වාදයක් වූ අතර, පොහොසත් ආගමික හා සංස්කෘතික උරුමයන්ගෙන් ලැබෙන ආධ්‍යාත්මික ප්‍රබෝධය නැවත රැගෙන ආවේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2021 අගෝස්තු 30 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close