තානාපති මහාචාර්ය  ශානිකා  හිරිඹුරේගම මැතිණිය  ඇන්ඩෝරා හි සම-කුමරු වන ජෝන්-එන්රික් විවෙස් Ι සිසිලියා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය  ශානිකා  හිරිඹුරේගම මැතිණිය  ඇන්ඩෝරා හි සම-කුමරු වන ජෝන්-එන්රික් විවෙස් Ι සිසිලියා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිණිය  2021 නොවැම්බර් 05 වැනි දින ඇන්ඩෝරා සහ ස්පාඤ්ඤ දේශසීමාවේ පිහිටි රදගුරු නිල නිවස වන  ලා සයු ඩි උර්ගෙල් (palace du pati Palau, 1-3) මාළිගාවේ පැවති උත්සවයක දී ඇන්ඩෝරා හි සම-කුමරු වන ජෝන්-එන්රික් විවෙස් Ι සිසිලියා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

සම-කුමරු වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිණිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් පළ කළ අතර විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇන්ඩෝරාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සහයෝගිතාව තවදුරටත් ගැඹුරු කිරීමට ජනාධිපතිවරයා තුළ ඇති කැපවීම පිළිබඳව අදහස් පළ    කළා ය.

ඊට ප්‍රතිචාර දැක්වූ සම-කුමරු සංචාරක ව්‍යාපාරය දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් කුඩා ජාතීන් ද්වයක් වන ඇන්ඩෝරාව සහ ශ්‍රී ලංකාව අතර මහත් බැඳිමක් පවතින බවත් ප්‍රකාශ කළේය.  ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රකට ලංකා තේ කෙරෙහි සිය ඇල්ම ප්‍රකාශ කළ සම-කුමරු විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම, මූල්‍ය ක්ෂේත්‍ර ආදිය සම්බන්ධයෙන්  ඇන්ඩෝරාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර වැඩි සහයෝගිතාවක් පැවැත්වීමට සිය සහයෝගය ලබා දෙන බව තහවුරු      කළේ ය.

මහාචාර්ය හිරිඹුරේගම මැතිණිය , ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් ප්‍රංශයේ හා ඇන්ඩෝරා කුමාර රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස සමගාමීව අක්ත ගන්වන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 නොවැම්බර් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close