තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය ක්‍රොඒෂියා ජනරජයේ ජනාධිපති සෝරාන් මිලානොවිච් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය ක්‍රොඒෂියා ජනරජයේ ජනාධිපති සෝරාන් මිලානොවිච් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ක්‍රොඒෂියා ජනරජයේ තානාපතිනිය ලෙස සමගාමීව අක්ත ගන්වන ලද ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය, 2022 මාර්තු 3 වැනි දින සාග්‍රෙබ් හි පිහිටි ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුරදී ජනාධිපති සෝරාන් මිලානොවිච් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ දී සිදු කරනු ලබන කෙටි දේශනය ඉදිරිපත් කළ තානාපති උණම්බුවේ මැතිනිය, ක්‍රොඒෂියාවේ ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් පිරිනැමූ අතර, ආර්ථික ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රොඒෂියාව සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවත්නා කැපවීම යළිදු අවධාරණය කළා ය.

අභිනව තානාපතිනිය වෙත සිය සුබ පැතුම් පළ කළ ජනාධිපති මිලානොවිච් මැතිතුමා, තානාපතිනියගේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීම සඳහා ක්‍රොඒෂියා රජයේ උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය. දෙරට අතර පවතින සම්ප්‍රදායික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍රයන් වෙත ව්‍යාප්ත කිරීමට ක්‍රොඒෂියාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තානාපතිනිය සාග්‍රෙබ් වෙත සිදු කළ සංචාරය අතරතුරදී ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්ති උපදේශක සහ ක්‍රොඒෂියාවේ විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන්, දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්, ආර්ථික සබඳතා පිළිබඳ අංශ ප්‍රධානියා සහ යුරේෂියා හා ඕෂනියා කලාපයේ අංශ ප්‍රධානියා ද හමු විය. මෙහිදී පවත්වන ලද අන්තර්ක්‍රියා අතරතුරදී, සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර දෙස අවධානය යොමු කරන අතරම, පවතින සබඳතා යළි පුබුදුවාළීමට දූත මණ්ඩලය තුළ ඇති කැපවීම තානාපතිනිය විසින් යළි අවධාරණය කරන ලදි.

දූත මණ්ඩලයේ ප්‍රථම ලේකම් සහ චාන්සරි ප්‍රධානී බුද්ධික විමලසේන මෙනවිය  ද තානාපතිනිය සමඟ මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයට සහභාගි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බර්ලින්, ජර්මනිය

2022 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close