තානාපතිවරයා ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය විවෘත කරයි

තානාපතිවරයා ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය විවෘත කරයි

ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ජෝර්ජියාව සඳහා අක්ත ගන්වන ලද ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ජෝර්ජියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ නියෝජිතයන්, වෙළඳ මණ්ඩලවල නියෝජිතයන්, සංචාරක හා ව්‍යාපාරික ප්‍රජාව සහ ජෝර්ජියාවේ වාසය කරන සහ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්‍ගේ සහභාගීත්වයෙන් 2022 ජූනි 20 වැනි දින ටිබිලිසි හි පැවති වර්ණවත් උත්සවයක දී නිල වශයෙන් විවෘත කරන ලදී.

මෙම උත්සවය අතරතුර, තානාපතිවරයා විසින් ටිබිලිසි හි නිර්වේතනික කොන්සල් නිනෝ මැක්විලාඩ්සේ මැතිනිය වෙත පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, ජෝර්ජියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 30ක් මුළුල්ලේ පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් දෙපාර්ශ්වය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා දිනෙන් දින ශක්තිමත් වන බව සඳහන් කළේ ය. ආර්ථිකය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර ඉහළ සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද තානාපති හසන් මැතිතුමා සඳහන් කළේ ය. අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය කර දෙරටේ විභවයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය. නිර්වේතනික කොන්සල් කාර්යාලය ජෝර්ජියාවේ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද එතුමා පෙන්වා දුන්නේ ය.

රැස්ව සිටි පිරිස ඇමතූ ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත, ආසියාවේ සහ අප්‍රිකාවේ අධ්‍යක්ෂ ජනරාල් තානාපති ඇලෙක්සැන්ඩර් නල්බන්ඩොව් මැතිතුමා, ජෝර්ජියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ශක්තිමත් බැඳීම හේතුවෙන් දෙරටේ පුද්ගලාන්තර සබඳතා ශක්තිමත් වන බව පෙන්වා දුන්නේ ය. ජෝර්ජියානු රජය ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙන බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙහිදී සිය අදහස් පළ කළ ටිබිලිසි හි නිර්වේතනික කොන්සල් නිනෝ මැක්විලාඩ්සේ මැතිනිය, ශ්‍රී ලංකාව වෙත නව වෙළඳ අවස්ථා සහ ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම සඳහා ජෝර්ජියාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කැපවන බවට සහතික වූවා ය.  ජෝර්ජියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට සහය වීමට තමන් ඉදිරිපත් වන බවද එතුමිය සඳහන් කළා ය.

ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය විවෘත කිරීමට සමගාමීව, තානාපතිවරයා ජෝර්ජියානු පාර්ලිමේන්තුවේ ජෝර්ජියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති ලෙවන් කරුමිඩ්සේ මහතා හමුවිය. කලාපයේ මෑතකාලීන ප්‍රවණතා සහ ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව ඔවුහු සිය අදහස් හුවමාරු කරගත් හ. දෙරටේ පාර්ලිමේන්තු අතර පැවැත්වෙන ඉදිරි හුවමාරු පිළිබඳව ද ඔවුහු සාකච්ඡා පැවැත්වූ හ. ජෝර්ජියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ තානාපතිවරයා, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් සහිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ය. නිර්වේතනික කොන්සල් මැක්විලාඩ්සේ මැතිතිය ද තානාපතිවරයා සමඟ මෙම රැස්වීම් සඳහා සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අංකාරා

2022 ජූලි 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close